May 13, 2024

වටවල දී දුම්රිය එන්ජින් දෙකක් ගැටෙයි

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රිය වටවල දුම්රිය ස්ථානය අසල දී නතර කර තිබිය දී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රියේ පිටුපස එන්ජිම පීලි පැනීමෙන් නතර කර තිබූ දුම්රියේ එන්ජිමේ ගැටී තිබේ.

මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර දුම්රිය එන්ජිම් දෙකට සුළු අලාභහානි සිදු වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

පීලි පැන තිබූ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස තිබූ එන්ජිම අමුණා එම දුම්රිය බදුල්ල දක්වා ධාවනය කරවීය. අද (05) අළුයම 04.00 ට පමණ මෙම අනතුර දුම්රිය සිදු වී ඇත.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රිය විකල්ප මාර්ගයක් සකස් කර ධාවනය කරවීමට දුම්රිය ඉංජිනේරුවරුන් කටයුතු කර තිබේ.

වටවල ප‍්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණය සහ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට තරමක් ප‍්‍රමාදවන නිසා උඩරට දුම්රිය ගමනාගමන කටයුතු දුම්රිය අනතුර සිදු වූ වටවල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කර එහි දී දුම්රියන් දෙකට මගීන් මාරු කිරීමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සැලසුම් කර ඇති බව අප වාර්තාකරු පවසයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)