May 12, 2024

භාරත ඝාතන නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව පවරා තිබෙන නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකු මීට වසර 04කට පෙර බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දිනයේදී වෙඩි තබා ඝාතනය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. 

නීතිපති යුවන්ජන් විජේතිලක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක ගුණතිලක සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් යුත් විනිසුරු මඬුල්ලක් මෙම නඩුව විභාග කිරීම සඳහා පත් කර ඇත. 

2001.10.08 වැනිදා බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැති දින අංගොඩදී සිදුකළ වෙඩි තැබීමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කර, එක් අයෙකුට බරපතළ තුවාල සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත. 

දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇතැයි කියමින් නීතිපතිවරයා විසින් මෙලෙස චෝදනා එල්ල කර ඇත්තේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර අබේවික්‍රම, ජනක බණ්ඩාර ගලගොඩ, අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනාරච්චි ශමින්ද නමැත්තන්ටය. 

මේ නඩුවේ 10 වැනි විත්තිකාර ජනක බණ්ඩාර ගලගොඩ නැමැත්තා නොමැතිව නඩුව විභාග කරනවාදැයි තීරණය කිරීම සඳහා සාක්ෂි කැඳවීමට නියමිතව ඇති අවස්ථාවේ මෙම නඩුව සුවිශේෂී අධිකරණ කටයුත්තක් බව සඳහන් කරමින් නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගත් අගවිනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර ඇත.   

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 10:28