May 11, 2024

දෙමල සන්ධානයට අභියෝග කරමින් ප්‍රභාකරන්ගේ ආරක්‍ෂකයාගෙන් නව පක්ෂයක්  

මෙවර ස්වේච්ඡා කණ්ඩායමක් ලෙසින් මැතිවරණයට ඉදිරිපත් වුවත් ඊළග මැතිවරණවලදී තම කණ්ඩායමට තරග කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය වශයෙන් නව පක්ෂයක් මැතිවරණයෙන් පසුව ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය කටයුතු පිළියෙල කොට ඇතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂක ශිවානන්දන් නජීන්ද්‍රා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවලට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින්ගේ නම් ඇතුළත් කරන ලෙස කළ ඉල්ලීම එහි නායකයින් ඉතා සැහැසි ලෙස ඉවත දැමීමේ ක්‍රියාව දැඩි අසාධාරණයක් වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ව බලයට පත් කිරීමටත්, ඔවුන්ව රැකගැනීමටත් ගත් උත්සාහය ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අමතක කොට දමා ඇති බව පෙනෙන්නට තිබීම නිසා යැයි නජීන්ද්‍රා කියා සිටියේය.

අසරණ දෙමළ ජනතාව රවටමින් බොරු පොරොන්දු දෙමින් ඔවුන්ගේ ඡන්ද ලබා ගනිමින් දෙමළ ජාතික සන්ධානය සදාකල් දේශපාලන බිමේ රැදී සිටීමට උත්සහ කළත් අනාගතයේදී එම දෙමළ ජනතාව රැවටිය නොහැකි අන්දමට තම කණ්ඩායම ශක්තිමත් දේශපාලනයක නිරත වීමට අදිටන් කරගෙන ඇතැයිද ඔහු පැවසීය.

ස්වාධීන කණ්ඩායම් අපේක්ෂක ශිවානන්දන් නජීන්ද්‍රා එල්.ටී.ටී.ඊ.යේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂක භටයෙකු ලෙස කටයුතු කර තිබේ. 

Rate this item
(0 votes)