May 10, 2024

හිටපු මන්ත්‍රීවරු ළඟ ඇති රජයේ වාහන ඇල්ලීමට ජනාධිපති ලේකම්ගෙන් නියෝග

නිල හිමිකමකින් තොරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිතා කරන සියලුම රජයේ වාහන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා පොලීසියට උපදෙස්‌ දී තිබේ. 

නිල වශයෙන් කුලී පදනම මත රජයේ වාහන 03 ක්‌ භාවිත කළ හැක්‌කේ ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට පමණි.

එහෙත් ආණ්‌ඩුවේ හා විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්‌ තවමත් නිල රථ භාර දී නොදී මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා බවට මැතිවරණ කාර්යාලයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි ලැබී තිබේ.

හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු රුපියල් ලක්ෂය බැගින් කුලී ගෙවා රජයේ වාහන භාවිතා කරන බවත් ඔවුන්ට කුලී පදනමට හෝ රජයේ වාහන භාවිතා කළ නොහැකි නිසා එම වාහන රජයේ භාරයට ගන්නා ලෙසත් මැතිවරණ කොමසාරිස්‌වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්‌ දී තිබේ. ඔවුන් ගෙවූ කුලී මුදල් ආපසු ලබාදීමට ක්‍රමයක්‌ සකස්‌ කරන ලෙසද උපදෙස්‌ දී ඇත.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් තරග කරන ප්‍රධාන පක්ෂයක හිටපු මන්ත්‍රීවරයකු රජයේ වාහන 04 ක්‌ භාවිතා කරන බවට මැතිවරණ කාර්යාලයට පැමිණිලි ලැබී ඇති බැවින් එම වාහන වහාම රජයේ භාරයට ගන්නා ලෙස කොමසාරිස්‌වරයා නියෝග කර තිබේ.

මේ අතර ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනයේ දී සිදු කරන පක්ෂපාතීත්වය පිළිබඳ තමන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව මැතිවරණ කොමසාරිස්‌වරයා ජනාධිපති ලේකම්ට හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ට ලිඛිතව දැනුම් දී තිබේ.

පවතින තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නිවැරදි කර නොගතහොත් තමන් වෙත ලැබී ඇති බලතල ප්‍රකාරව දැඩි පියවර ගන්නා බවද ප්‍රකාශ කර ඇත.

මීට පෙර ද ඉකුත් ජනාධිපතිවරණ සමයේ එම ආයතනයේ පක්ෂපාතී බව නැවැත්වීමට තමාට මැදිහත්වීමට සිදු වූ බවද මේ වනවිට අවස්‌ථා කිහිපයකදීම රූපවාහිනියේ බලධාරීන්ට අවවාද කර ඇතැයි ද සදහන් කර තිබේ.

රාජ්‍ය මාධ්‍ය මැතිවරණ කාල සීමාව තුළ අධීක්ෂණය කර ක්‍රියාමාර්ග ගැනීමට 19 වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස්‌ වෙත බලය පවරා ඇත.

(දිවයින)

Rate this item
(0 votes)