May 10, 2024

ආණ්ඩුවේ අයගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම්කරුවන් පාතාල කල්ලි - විමල් 

පාතාල කල්ලි අද ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම්කරුවන් බවට පත්ව ඇතැයිද ඒ හේතුවෙන් ලෝකයේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත් වූ කොළඹ නගරය චිකාගෝවක් බවට පත් වෙමින් ඇතැයිද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (03) කොළඹ 10, ඩාලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති එජනිස මාධ්‍ය හමුවේදීය. 

එහිදී අදහස් දැක්වූ විමල් වීරංවශ මහතා මෙසේද පැවසීය.

‘‘පාතාල කල්ලි මේ මැතිවරණ ව්‍යාපාරයේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයින්ගේ ප‍්‍රධාන මෙහෙයුම්කරුවන් බවට පත්වීම අද රටට ඉතා විශාල තර්ජනයක් වී තිබෙනවා. 2009 මැයි 18 වැනිදා ලැබූ යුද ජයග‍්‍රහණයෙන් පසුව මේ රටේ භීෂණයක් තිබුණේ නැහැ. ඉන් පසුව කොළඹ පාලනය කරපු භයානක පාතාල කල්ලි මර්දනය කිරීම සිදු වූ බවත් මේ රටේ ජනතාව දන්නවා. පාතාල කල්ලි නායකයන් 08 දෙනෙකු රටින් පැන ගියෙත් ඒ තත්වයට මුහුණ දෙන්න බැරිව. ජනවාරි 08 වැනිදායින් පසු ඒ පිරිස යළි ගෙන්වා ගෙන තිබෙනවා. ඒ අයව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරවල ප‍්‍රධාන චරිත බවට පත්කරගෙන තිබෙනවා. දැන් මේ එකිනෙකාට විරුද්ධ පාතාල කල්ලි වෙඩි තියාගන්න පටන් අරන් තිබෙනවා. 

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ ලෝකයේ වේගයෙන්ම දියුණු වූ නගරය බවට පත් වූ කොළඹ නගරය අද ‘චිකාගෝවක්’ බවට පත් වෙමින් තිබෙනවා. අපට පෙනෙනවා, පිටකොටුවේ ගමන් බෑග්වල දමා තිබෙන මළමිනී. අද පිටකොටුව ‘මෝචරියක්’ බවට පත් කොට තිබෙනවා. හිරේ සිටින ඇතැම් පාතාල නායකයන් තමන්ගේ ගෝලයන් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලබාදීලා ඔවුන්ව හිරේ සිට මෙහෙයවමින් සිටිනවා.“ 

“අපි බලාපොරොත්තු වෙනවා, සවිස්තර වාර්තාවක් සමගින් මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිලි කරන්න. ගෙවීගිය මැතිවරණ ඉතිහාසය සලකා බලන්න. පසුගිය මැතිවරණවලදී පාතාල කල්ලි ළග තබාගත්තා කියලා කිසිදු දේශපාලනඥයකුට චෝදනා එල්ල වූයේ නැහැ. අපේ ආණ්ඩුව පැවැති කාලයේ එවැනි චෝදනා තිබුණේ නැහැ. පාතාලය හා ගනුදෙනු තිබුණු යුගය අවසන් කරලා තිබියදී තමයි නැවත මේ පාතාලයට පණ දෙමින් තියෙන්නේ. මේක ඉතාම භයානක තත්වයක්. මහජනතාවට, ව්‍යාපාරිකයන්ට මෙවැනි මරාගන්නා වටපිටාවක් කොහෙත්ම හිතකර වෙන්නේ නැහැ.   

මුදල් ඇමති කරුණානායක මහත්තයා මේ සිදුවීම සිදුවෙලා තත්පර ගණනක් තුළ එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මත පටවන්න හැදුවා. ඒ වගේම විනාඩි කිහිපයකින් තම ෆේස්බුක් පිටුවේ ඒ බව සඳහන් කරලත් තිබුණා. මොකක්ද මේ හදිසිය? රවී කරුණානායක මහතා එදා මේ සිදුවීම සිදු වුණු තැන ඉදලා තිබෙනවා. විනාඩි ගණනකට පෙර ඔහු වෙන පාරකට ගිහින් තිබෙනවා. එතකොට තමයි ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් පැමිණ රවී කරුණානායක මහතාගේ පත‍්‍රිකා බෙදීමේ ව්‍යාපාරය මෙහෙයවපු පාතාල කල්ලි නායකයා ඇතුළු පිරිසට වෙඩි තබා ඇත්තේ. වෙඩි තැබීමට විනාඩි කිහිපයකට පෙර වෙන තැනකට ගිය රවී කරුණානායක මහත්තයා වෙඩි තැබීමෙන් පසුව එම ස්ථානයට පැමිණ අඩනවා, දොඩනවා, වැලපෙනවා, පසුව රෝහලට යනවා. එතුමාට ඒ හැකියාව තිබෙනවා. ඒ වගේම ඍෂිවර නුවණක් තිබෙනවා වගේ ඒ සිදුවීම ඒ මොහොතේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත පටවනවා.“ යැයි ඔහු පෙන්වා දුන්නේය. 

“එදාම රවී කරුණානායක මහත්තයා මාධ්‍ය හමුවක් තියලා කියනවා ‘ලබන 09 වැනිදා - 12 වැනිදා වන විට කුරුණෑගල රැලියකදී බෝම්බයක් පුපුරවලා අපිව අල්ලයි’ කියලා. එක පැත්තකින් පාතාල කල්ලි ගෙන්වාගෙන, තමන්ගේ මැතිවරණ මෙහෙයුම් කටයුතුවලට ඔවුන්ව යොදවාගෙන, භීෂණකාරී තත්වයක් නිර්මාණය කරවලා, එහි වගකීම මහින්ද රාජපක්‍ෂ පිට පටවලා මේ කරන්න හදන දේ බුද්ධිමත්ව තේරුම් ගන්න. 

පසුගිය සෙනසුරාදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ කාර්යාලයේ හිටපු සැකකටයුතු පුද්ගලයකු පරීක්‍ෂා කරන විට ඔහු පැන ගොස් තිබුණා. ඔහු පැන ගොස් තිබුණේ ඔහුගේ ඉනේ පිස්තෝලයක් සගවා ගෙන සිටි නිසයි. ඔහු පැමිණ තිබූ යතුරුපැදියේ තිබුණේ ව්‍යාජ අංකයක් කියා සෙයාගෙන තිබෙනවා. මෙහෙම වාතාවරණයක් අද දේශපාලන කරළිය තුළ මතුව තිබෙනවා.“ යැයිද වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)