May 10, 2024

බ්ලූමැන්ඩල් සිද්ධියේ කතාව ගැන ආණ්ඩුවේ අයටත් රවීගෙන් දෝස්මුරයක්

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිදුවීමට පාතාලය සම්බන්ධ බව ඒත්තු ගැන්වීම සඳහා විපක්ෂය බංකොලොත් දේශපාලන උපක‍්‍රම භාවිත කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා පැවසූවේ මියගිය පුද්ගලයන් පාතාලයට සම්බන්ධ බවට කීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සේම ආණ්ඩුවේ ඇතැමුන් ද උත්සහ දරන බවයි. 

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසී ය, 

“බ්ලූමැන්ඩල් සිද්ධියෙන් මේ වෙන කොට පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිහින් තියෙනවා. අද අලූයම මිය ගිය පුද්ගලයා තුන් දරු පියෙක්. අපට පේනවා තිලංග සුමතිපාලලා, ඩිලාන් පෙරේරලා මේ සිදු වීම පාතාලය සමග බද්ධ කරන්න හදනවා.  ඒක විපක්ෂයේ වගේ ම අපේ පැත්තෙ කීප දෙනෙකුත් කියන්න උත්සහ කරල තියෙනවා. මේ මිය ගිහින් තියෙන තරුණයාගේ නම සම්පත්. එයාල හදනවා ඔහු ආමි සම්පත් විදියට හඳුන්වන්න. ඒ අසරණ දරුවන්ට දැන් තාත්ත නැති වෙලා. ඒ විතරක් නෙවෙයි මේ බංකොලොත් දේශපාලනඥයො පාතාලයෙ නමකුත් පටබැඳලා. ඩිලාන්ල, තිලංගලා මේ  විස්තර දන්නව නම් ඇවිල්ල පොලීසියට කියන්න. මමත් දරුවන් තුන් දෙනෙකුගේ තාත්ත කෙනෙක්. මට දැනෙනවා තාත්තට මේ වගේ චෝදනා එල්ල කළා ම දරුවන්ගේ මානසික තත්ත්වය.“ 

“පොලිස්පතිතුමා පවා කියනවා පොලීසිය මේ සිදුවීම පාතාලයට සම්බන්ධයි කියල මෙතෙක් ප‍්‍රකාශ කරල නෑ කියල. එහෙනං කවුද මේ ප‍්‍රකාශ නිකුත් කරන්නෙ. ජනමාධ්‍යවලටත් මේ මොහොතේ ලොකු වගකීමක් තියෙනවා සත්‍ය අනාවරණය කිරීමට. එක එක පරාජිත දේශපාලනඥයන් කියන පදනමක් නැති කතා පළ කරන එක නෙවෙයි මේ මොහොතේ කළ යුත්තේ.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. 

Rate this item
(1 Vote)