May 21, 2024

බ්ලූමැන්ඩල් පාතාල ප්‍රබලයන් රට පැනීමේ සූදානමක් - කටුනායකට රැකවල්

කොළඹ, බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ දී මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ රැස්‌වීමකට පැමිණ සිටි පාතාල ප්‍රබලයන් පිරිසක්‌ ඉලක්‌ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමග මේ වනවිට එම පාතාල ප්‍රබලයන් රටින් පැන යාමේ සූදානමක්‌ පවතින බවට ආරක්‌ෂක බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව ඔවුන් කොටු කර ගැනීම සඳහා මේ වනවිටත් කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව රැකවල් යෙදීමට බුද්ධි අංශ පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

බ්ලුමැන්ඩල් වෙඩි තැබීමේ දී පාතාල නායකයකුවන ආමි සම්පත්ගේ මාමා සහ ඔහුගේ ප්‍රධානතම ගෝලයා වූ කිචව් සම්පත් ද වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඊයේ (02) පෙරවරුවේ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මෙම කිචව් සම්පත් නමැති පුද්ගලයා කොළඹ ස්‌ටේස්‌පුර ප්‍රදේශයේ ආමි සම්පත්ගේ කුඩු ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ගෝලයා බව පොලීසිය සඳහන් කරයි. වෙඩි වැදුණු කිචව් සම්පත්ගේ තත්ත්වය අසාධ්‍ය බව ද වාර්තා වේ.

බ්ලුමැන්ඩල් සිද්ධියවන අවස්‌ථාවේ දී ආමි සම්පත් සහ බ්ලුමැන්ඩල් සංඛ නැමැති පාතාල ප්‍රබලයන් සමග ඔවුන්ගේ ගෝල බාලයන් වූ බිම්සර, ගනේෂ්, කිචව්, සම්පත්, තොටළඟ කළුබෝලේ ඇතුළු පාතාල සාමාජිකයන් රැසක් ද රැස්‌වීම් භූමියේ සිටි බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

මෙම සිද්ධියෙන් පසු බ්ලුමැන්ඩල් නිවාස සංකීර්ණය අසල තිබිය දී පොලීසිය මගින් සොයාගනු ලැබූ හයිබ්‍රිඩ් වර්ගයේ කුඩා මෝටර් රථය ආමි සම්පත් පදවාගෙන ආ රථය බවට ද තොරතුරු ලැබී ඇත. 

මේ වනවිට ආමි සම්පත් සංඛ ඇතුළු පාතාල කල්ලිය කොටුකර ගැනීම සඳහා රහස්‌ පොලිසිය හා බුද්ධි අංශ එක්‌ ව පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබේ.

සම්පත් ඇතුළු කල්ලිය ඉලක්‌ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරය කොළඹ ප්‍රදේශයේ තවත් දේශපාලනඥයකුගේ රැකවරණයේ සිටින වෙනත් පාතාල කල්ලියක ප්‍රහාරයක්‌ බවට ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරයි.

(දිවයින)

Rate this item
(0 votes)