May 21, 2024

ඩිලාන්ගෙන් ප්‍රකාශයක් ගන්නැයි ඇමති ජෝන් රහස් පොලීසියට දන්වයි

බ්ලුම්නැඩල් ප්‍රදේශයේ දී ඇමති රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි වැදුණේ පාතාල සාමාජිකයන් දෙපිරිසකගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවට හිටපු ඇමති ඩිලාන් පෙරේරා මහතා කළැයි කියන ප්‍රකාශය පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව මහජන සාමය හා නීතිය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

කොටහේනේදී මුදල් ඇමති රවි කරුණානායක මහතා‍ගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පසුගිය 31 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කොටහේන වෙඩි තැබීමේ සිද්ධිය මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් දෙදෙනකුගේ පාතාල කල්ලි අතර ගැටුමක් බව යි.

සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බවත් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත් කී ඒ මහතා මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර සත්‍ය හෙළිකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පැවසී ය.

Rate this item
(0 votes)