May 20, 2024

මැතිවරණ උණුසුම සමගින් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට - සිව්දෙනෙකු රෝහලේ (PHOTOS) 

මැතිවරණ ප්‍රචාරක කටයුතු අතර ඊයේ(01) දිනයේදී ද දිවයිනේ ස්ථාන කිහිපයකින්ම මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

අද (02) පෙරවරු 6 න් අවසන් වූ කාලය තුල ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහලගත කොට ඇත.

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ දී මාතලේ දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම් නායක ගමගෙදර දිසානායක මහතා රැස්වීමක් ඇමතීම ආරම්භ කළ අවස්ථාවේ සිට බාධාකිරීම් වැඩි වූ අතර සන්ධාන ආධාරකරුවන් පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රවලට විදුලිය සැපයූ විදුලි වයර් ගලවා ඉවත් කර තිබේ. මේ නිසා රැස්වීම අතර මග නතර කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ගලේවෙල පොලීසියට පැමිණිල්ලක්ද කර ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.

ගලේවෙල දඹගොල්ල ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් හා එක්සත් ජාතික පක්ෂ ආධාකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇත. එයින් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් වන අතර එක් අයෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකි.

මේ අතර ගලේවෙල දේවහුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රංජිත් අලුවිහාරේ මහතාගේ රැස්වීමක් අසලින් ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාකරුවෙක් පහරකෑමට ලක්ව රෝහල්ගතකර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම අසලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරු ත්‍රීරෝද රථයකින් ගොස් ඇති අතර ත්‍රීරෝද රථයේ ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය වැඩි බව පවසමින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් ඔහුට පහරදී ඇත. පහරකෑමට ලක්වූ ඔහු රෝහල්ගතකර ඇත.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානයට පැමිණිලි 869ක් වාර්තා වී තිබේ. එයින් පැමිණිලි 816ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර පැමිණිලි 53ක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන බව එම සංවිධානය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 August 2015 13:22