May 20, 2024

තොන්ඩමාන්ගේ ආධාරකරුවන් දෙදෙනෙක් සහ වෑන් රියක් අත්අඩංගුවට

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ සහ එම පක්ෂයෙන් තරග වදින තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ මනාප අංක සඳහන් කර ඇති පෝස්ටර් තොගයක් ඩොල්ෆින් වෑන්රථයක රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හැටන්, මල්ලිඅප්පුව පොලිස් මාර්ග බාධකයේ දී අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.

කොටගල ලංකා කම්කරු මූලස්ථානයේ සිට නෝර්වුඩ් ප්‍රදේශයේ වතු ආශ‍්‍රිතව ඇලවීම සඳහා මෙම පෝස්ටර් තොගය රැගෙන යමින් තිබිණ.

අත්අඩංගුවට ගත් පෝස්ටර් තොගය සමග සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් බවත් මෙම පෝස්ටර් තොගය සමග ස්ටිකර්, කටවුට් සහ මනාප අංක ඇතුළත් අත්පත‍්‍රිකා තොගයක් ද එහි තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මෙම පෝස්ටර් තොගය සහ ස්ටිකර් තොගය රූගත කිරීමට හැටන් පොලීසියේ උසස් නිලධාරියෙකු මාධ්‍යයට අවසර ලබා නොදුන් බව අප වාර්තාකරු ප්‍රකාශ කරයි.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Rate this item
(0 votes)