May 17, 2024

තමා කළ පණ්ඩිතකමක් ගැන 'මහින්ද හෙළි කරයි'

වසර දෙකක් තිබිය දී තමන් පණ්ඩිතකමක් කළ බවත්, එහෙත් ඒ තුළින් අද එජාපය ආණ්ඩු කරන අයුරු ජනතාවට දැකගන්නට ලැබී ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (21දා) මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක දී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා,

"ජාතියට අවශ්‍ය වෙන්නෙ පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නෙ හදවත හඳුනන ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන මිනිස්සු. ඒක නිසා තමුන්නාන්සේලාගෙ යුතුකම ඉටු කරන්න. බුලත් කොළයට ඡන්දය දීලා බුලත් කොළය දිනවන්න. අද මේ තියෙන්නෙ යහපාලනය, පරිස්සමින් ඉන්න ඕන. නැත්නම් ගෙදර හිටියත් හිරේ යවන කාලයක් මේ. සමහරු මොන වැරදි කළත් ඒ පැත්තට යන්නෙ නැහැ. මමත් මාස 03 ක ඉඳලා ආවෙ. ඒ නිසා මට ඔරොත්තු දෙනවා. මට හිරගෙදරත් එකයි රජගෙදරත් එකයි. 

පසුගිය මැතිවරණයේ දි අපි පරාජය වුණා. ඒක අපි පිළිගන්න ඕන. හැබැයි කවුරුත් රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නෙ නැහැ. එතුමා පත්වුණා විතරයි විධායක බලතල අතට අරගෙන තමයි මේ දින 100 කටයුතු කළේ. මේකට රතු සහෝදරයනුත් එකතු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ගෙජ්ජිය දැන් අලියගේ නැට්ටෙ එල්ලලා තියෙන්නෙ. නැට්ට වනනකොට තමයි සද්දෙ ඇහෙන්නෙ. මේක මම නෙමෙයි කිවුවෙ එතුමන්ලගෙ හිටපු නායක සෝමවංශ මහත්තයා. එහෙම කණ්ඩායමක් හිටියෙ. මේ දින 100 ඇතුළත පළිගැනීම පමණයි සිදුකළේ. දුන්නු පොරොන්දු එකක්වත් ඉටුකළේ නැහැ.

දැන් මෙයාලට වැඩ කරන්න සල්ලි නැහැ. මම 2014 වැඩකරන්න ගත්තු ණයට වඩා වැඩියෙන් මේ දින 100 ඇතුළත අරගෙන තියෙනවා. මේ සල්ලිවලට මොකද වුණේ කියලා අගමැතිතුමා ප්‍රකාශ කළ යුතුයි. 

මේ රටේ තරුණයන් ගැන හැමදාම හිතුවෙ අපි. මොවුන් කළේ තරුණයන් විනාශ කරපු එක. ඒ ඉතිහාසය අපට අමතක වෙලා නැහැ. මේ අය විශ්වවිද්‍යාල සිසුන්ට ගැහුවා, හාමුදුරුවො හිරේ දැම්මා. අපේ කාලයේ එහෙම දේවල් තිබුණ ද? සමහර හාමුදුරුවරු මට කුණුහරුපෙන් බැනලා ගිහින් තියෙනවා.

තරුණ හාමුදුරුවොනෙ ඉතින් මම ගිලන්පස යැවුවා. ඒක බීලා කවුද එවුවෙ කියලා ඇහුවම මමය කිවුවම හානේ දැන් බීලා ඉවරයිනේ කියලා ඉතුරු ටික විසික් කරලා ගියාලු. එතනින්ම විරෝධය ඉවරයි. අපි ප්‍රශ්න විසඳුවෙ එහෙමයි. දින 100 ට මෙහෙම නම් තව ටික කාලයක් දුන්නොත් කොහොමට තියෙයිද? රට විනාශ වෙනවා.

අපි මේ අය කරන්න යන ඒවා කරන්න හිටියෙ. කොහෙද ඉතින් අවුරුදු දෙකක් තියාගෙන මම පණ්ඩිතකමක් කරානේ. හැබැයි ඒකෙන් හොඳකුත් වුණා. දැන් ජනතාව දන්නවනේ එජාපය ආණ්ඩු කරන හැටි. මම කළ ඒ පණ්ඩිත වැඩෙන් මිනිසුන් එකක් හොඳට දැන ගත්තා.  එක්සත් ජාතික පක්ෂයේ වැඩ කොහොමදැයි ඔවුනට පෙනුණා. ඔවුන් බෙදන ඉඩම් ඔප්පුවේ කවරේ රනිල්ගේ පින්තූරේ. ඇතුළේ මහින්ද රාජපක්ෂගේ පින්තූරේ. ඒ කාලෙ බෙදා දීමට ලෑස්ති කළ මේ ඉඩම් ඔප්පු අපේ නිලධාරියන් බෙදා දී නෑ. දැන් ඒවා බෙදන්නේ රනිල්ලා. හැබැයි කාටවත් මගේ අත්සන වෙනස් කරන්න බෑ." යනුවෙන් හෙතෙම සඳහන් කළේ ය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 12:04