May 19, 2024

ජානිපෙ මානව හිමිකම් කොමිසමට යයි   

මහින්ද රාජපක්‍ෂ මහතාට සපයා ඇති ආරක්‍ෂාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින රතු අලි පැටව් සහ කොළ අලියන් සතුව ඔහු මරා දැමීමේ සැලැස්මක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද (20) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

‘‘එක්සත් ජාතික පක්‍ෂයේ කොළ අලියාගේ උවමනාවට ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් පැමිණිල්ල දාලා තියෙනවා මානව හිමිකම් කොමිසමට. ඉතිරි වෙලා සිටින කොටි ත‍්‍රස්තවාදීන්ගේ සහ කොටි හිතවාදී දෙස් විදෙස් බලවේගවල මරණ තර්ජනයට ලක්ව සිටින ප‍්‍රධානතම පුද්ගලයා තමයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. එතුමාට විශාල ජීවිත අවදානමක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආරක්‍ෂාව සපයලා තියෙන්නේ දේශපාලන හේතු මත නොවෙයි, බුද්ධි අංශ මගින් එතුමාට එල්ල වී තිබෙන ජීවිත තර්ජන පිළිබඳව වාර්තා ඇති නිසයි. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු පනතකින් හිටපු ජනාධිපතිවරයකු ලෙස එතුමාට නීත්‍යනුකූලව ආරක්‍ෂාවක් සැපයිය යුතු බව සඳහන් කර ඇති නිසයි. මේ සියලූ කාරණා සලකා බැලූ විට එතුමාට මේ සපයා ඇත්තේ ඔහුට නීත්‍යනුකූලව හිමිව ඇති ආරක්‍ෂාවයි.‘

‘මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සපයා ඇති ආරක්‍ෂාව සහ පහසුකම් ඉවත් කරන්න කියලා ජවිපෙ ඉල්ලා සිටින්නේ ඇයි? මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මරා දැමීමේ සැලැස්මක් මේ රතු අලි පැටව් සහ කොළ අලි පැටව් සතුව තිබෙන නිසයි. එතුමා අද මහා නැගීසිටීමක් කරලා අග‍්‍රාමාත්‍ය ලෙස ඉදිරියට එන විට ඊට දේශපාලන වශයෙන් මුහුණ දෙන්න බැරිව එතුමාගේ ජීවිතය නැති කිරීමේ ක‍්‍රියාමාර්ග තමයි අද මේ ගන්න හදන්නේ.

එතුමාගේ ආරක්‍ෂාව අඩු කිරීම කියන එක ‘එතුමා කොටියාට බිල්ල දීමට’ සමානයි. ජවිපෙ නායකයන් කියනවා, ‘අපි තමයි මහින්ද රාජපක්‍ෂට යුද්ධය කරන්න කිව්වේ’ කියලා. කියපු කට්ටියම යුද්ධය දිනපු නායකයාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියා කීම, අපි දකිනවා තමන්ගේ හාම්පුතා නොහොත් වික‍්‍රමසිංහ මහත්තයා පරාජයෙන් බේරා ගැනීම සඳහා කරන සටනක් විදියට.‘ යැයිද ඔහු පෙන්වා දුන්නේය.

‘අවසන් වශයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා, ‘මෙවැනි පහත් නින්දිත දේශපාලනයක නිරත වෙන්න එපා’ කියලා. ඔබලාට හෘදසාක්‍ෂියක් තිබෙනවා නම් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න සාමකාමී රටක් හදා දුන්නු මිනිස්සුන්ව කොටින්ගේ මර උගුල්වලට යවන්න පුළුවන්ද? මේකෙන් පෙනෙන්නේ ජවිපෙ පෝස්ටරයේ ‘හෘදසාක්‍ෂිය’ කියන වචනය තිබුණාට තමන්ට හෘදසාක්‍ෂියක් නැහැ කියලයි.‘ යැයිද මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)