May 18, 2024

වව්නියාවේ ඉන්ෆ්ලූවෙන්සා රෝගීන් වෙත යෑමට හෙදියන් බෑ කියයි

ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය හේතුවෙන් වවුනියාව රෝහලේ  සිටි ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ. මීට අමතරව ඉන්ෆ්ලූවෙන්සා රෝගය වැළඳුණු රෝගීන් 25 දෙනෙකු වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එහි අධ්‍යක්‍ෂිකා වෛද්‍ය අධිකාරී සුදර්ශනී විග්නේෂ්වරන් සඳහන් කරන්නේ. එම රෝගීන් අතර ගැබිනි කාන්තාවන් හත්දෙනෙකුද සිටින බවයි අධ්‍යක්‍ෂවරිය කියා සිටියේ. 

මේ හේතුව නිසා ඇතැම් හෙද කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඉන්ෆ්ලූවෙන්සා රෝගීන් රඳවා තබා ඇති වාට්ටු වෙත යාමද ප්‍රතික්ෂේප කරන බවත් වවුනියාව රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය අධිකාරී සුදර්ශනී විග්නේෂ්වරන් සඳහන් කරයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පිළිබඳ කාන්තාවන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවය. වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද අමරසිංහ කියා සිටියේ රෝගය වැලදීමෙන් දැනට මිය ගිය 23 දෙනාගෙන් 18 දෙනෙකුම අවුරුදු 20 ට වැඩි කාන්තාවන් බවය.

උණ, කැස්ස, උගුරේ වේදනාව, සොටු දියර ගැලීම, හිසරදය, පාචනය සහ වමනය පවතීනම් එය ඉන්ෆ්ලූවෙන්සා රෝග ලක්ෂණ විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ගැබිණි මව්වරුන්, අවුරුදු දෙකට අඩු ළමයින් සහ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහා ළඟම රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 June 2015 20:52