May 18, 2024

එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සඳුදා සිට අළුත් වැඩක්

පසුගිය කාලයේ සිදු වූ විශාල දූෂණ වංචා ලිපිගොනු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක් ලබන සඳුදා (22) සිට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මහමැතිවරණයක් පැවැත්වීමෙන් පසුව ජයග්‍රහණය කරන පක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමට නොහැකි වීම තුළ සියලු පක්ෂවල සහයෝගයෙන් තුන් දෙකක බලයක් ලබා ගැනීමට සිදු වන බවත් එම නිසා මැතිවරණයෙන් පසු 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට යා හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා පැවසූවේ ජනතාවගේ අපේක්ෂාව නව පාර්ලිමේන්තුවක් බවත් නව පාර්ලිමේන්තුවක් තුළ සුළු පක්ෂ, සුළු ජාතීන්ගේ පක්ෂ සමඟ සාකච්ඡා කර 20 වැනි ආණ්ඩුක්‍රමය සංශෝධනය කර කළ හැකි බවත්ය.

දැන් පවතින මැතිවරණ වසර 10ක් ක්‍රියාත්මක වුව ද ජනතාවගේ නොදැනුවත්කම මත අවලංගු ඡන්ද වැඩි ප්‍රතිශයක් දක්නට ලැබෙන අතර නව ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යාම තුළ 50%ක් පමණ අවලංගු ඡන්ද ප්‍රතිශයක් දක්නට ලැබෙනු ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)