May 07, 2024

'විශ්වාසභංගයට දෙන්නෙක් දෙපාරක් අත්සන් කරලා' - මනූෂ කියයි

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු දෙවරක් අත්සන් තැබීම නිසාත් දෙතැනක ‘අංක පැනීමක්’ සිදු වී ඇති නිසාත් විශ්වාසභංගයට ලැබී ඇත්තේ අත්සන් 108ක් පමණක් බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

පසුගිය දා කථානායකවරයාට භාර දුන් විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 112 ක් අත්සන් තැබූ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

‘මන්ත්‍රීවරු දෙදෙනෙක් නොදැනුවත් කමින් දෙපාරක් තැන් දෙකක අත්සන් කර තිබුනා. ඒ වගේම තැන් දෙකක අංක පැනීමක් තිබුනා. ඒ නිසා නිශ්චිතවම අත්සන් 108යි මේ විශ්වාසභංගයේ තියෙන්නේ.’ යැයි මන්ත්‍රීවරයා පැවසී ය.

දැඩි බලපෑම් එල්ල වීම නිසා මෙම ලේඛනයට අත්සන් ලබා ගැනීම ඉතා රහසිගතව සිදු කෙරුණු හෙයින් මෙම පටලැවිල්ල සිදු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඊට අත්සන් තැබීමෙන් අනතුරුව ඇමති පදවි ලබා ගත් ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගැනීම සඳහා මෙම විශ්වාසභංගය ‘පෙත්සමක්’ ලෙස හුවා දක්වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඊට අත එසවීමට මන්ත්‍රීවරුන් 120ක් පමණ සුදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

(බීබීසී)

Rate this item
(0 votes)