May 04, 2024

චන්ද්‍රිකා ශ්‍රීලනිපය භේද කරනවා - ඩලස් (VIDEO)

තම රැළි මාලාවේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය භේද කිරීම නොව එක්සත් ජාතික පක්ෂ රජය පෙරළා දැමීම බවත් පසුගිය දා පැවැත්වුණු මාතර රැළිය ලංකා දේශපාලන ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම දේශපාලන රැළිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය. 
 
ඔහු මේ අදහස් පළ කළේ අද (15) නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවක දී ය.
 
තව දුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා, තම පාර්ශවය පක්ෂය භේද කරනවා යි කියමින් කුමන චෝදනා නැගුණ ද එය සිදු කරන්නේ තමන් නොව නිදහස් පක්ෂයේම හිටපු නායිකා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව කනගාටුවෙන් වුවත් කීමට සිදු වන බව ප්‍රකාශ කළ අතර පක්ෂය විනාශ කිරීමේ අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට, ඕනෑම කණ්ඩායමක් සමඟ එකතු වීමට ඇය සූදානම් බවත්, ඇයව මහ මග නිරුවතින් ඇවිද්දවිය යුතු යැයි ප්‍රකාශ කළ තැනැත්තන් සමඟ පවා එම අරමුණ උදෙසා එක්විය හැකි බවත් කියා සිටියේ ය.
 
තව ද, රනිල් - මෛත්‍රී ගිවිසුම දින 100කට සීමා වුවත් චන්ද්‍රිකා මෛත්‍රී ගිවිසුම අවුරුදු 5ක් දක්වා දීර්ඝ එකක් බව තමන්ට වැටහෙන බවත් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
 
මෙම මාධ්‍ය සාකච්ඡාවට වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් ද එක් විය.
 
 
Rate this item
(0 votes)
Last modified on Monday, 15 June 2015 17:14