May 14, 2024

20 සම්මත කර මහ මැතිවරණයකට යා යුතුයි - මල්වතු මහනාහිමියෝ (VIDEO)

20වන ආණ්ඩුක්‍රම සංශෝධනය කඩිනමින් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාම කාලෝචිත බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවැසූහ. 

වැවිලි කර්මාන්ත අමාත්‍ය හා පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (14) මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේ මහනාහිමියෝ මේ බව කීහ.

රටේ සියලු දෙනා එක්ව රටට සහ ජනතාවට යහපතක් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී විශ්වාසභංග ගෙන එමින් එම කටයුතු අවුල් කිරීම නුසුදුසු ක්‍රියාවක් බවද මෙරට ජනතාවගේ මූලික අරමුණ වූයේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් බවත් ඊට සහයෝගය දැක්වීම මහජන නියෝජිතයින්ගේ වගකීමක් බවත් මහනාහිමියෝ පැවැසූහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අවශ්‍ය නම් විසිවන සංශෝධනය සම්මත වූවාට පසුව එය සිදුකිරීමේ හැකියාව පවතින බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. 

රටට වැඩදායී නියෝජිතයින් පත්කර ගැනීම පිණිස ඉතා හොඳ මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කිරීම කාගේත් යුතුකම බවත් ඉන් සියලු දෙනා සතුටු කරවීමට නොහැකි වනු ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

අද පවතින තත්ත්වය අනුව විපක්ෂය නව මැතිවරණ ක්‍රමයකට වඩා පවතින මැතිවරණ ක්‍රමයට කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇති බවත් ජනතා ඡන්දය ලබාගෙන හිතුමතේට පක්ෂ මාරු කරන ක්‍රමය නැවැත්වීමට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇතැයිද මල්වතු මහනාහිමියෝ සඳහන් කළහ.

 

Rate this item
(0 votes)