May 05, 2024

පතලක තිබූ අත්බෝම්බ පුපුරුවා හරී (PHOTOS)    

බගවන්තලාව මැණික් පතල් භූමියක තිබී හමුවූ ජේ.ආර්. වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් හැටන් වැඩබලන මහේස්ත‍්‍රාත් එස්.රාම්මූර්ති මහතාගේ නියෝගයක් මත නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් ඊයේ (14) පස්වරුවේ එම පතල් භූමියේදීම පුපුරුවා හැර විනාශ කර තිබේ.

පෙරේදා (13) බගවන්තලාව චැපල්ටන් වතුයායේ කෙසෙල්ගමු ඔය අසල ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මැණික් ගැරීම සඳහා වෙන්දේසි කළ භූමියක මැණික් ඉල්ලම් කපා තිබූ පතලකට යෑම සඳහා තාවකාලිකව මාර්ගයක් කපමින් සිටි කම්කරුවන් පිරිසකට එම ජීව අත්බෝම්බ දෙක හසුවී ඇත. පොළව මට්ටමේ සිට අඩි 30ක් පමණ ගැඹුරට වූ මෙම විශාල පතලේ තිබීයදී මෙම ජේ.ආර්. වර්ගයේ ජීව අත්බෝම්බ 02ක හමුවූ බව වාර්තා වේ. 

මෙම ජීව අත්බෝම්බ දෙක මීට වසර කීපයකට පෙර මෙම භූමියේ මැණික් ඉල්ලම් කැපීමේදී කිසියම් පිරිසක් ගෙනවිත් වළලා දමන්නට ඇති බව සිද්ධිය පිළිබඳව පරීඏණ පවත්වන බගවන්තලාව පොලීසිය සැක  කරයි. 

මෙම ජීව අත්බෝම්බ දෙක වසර 10 කට ආසන්න කාලයක් පස්වලට සහ ජලයට යටවී තිබූ එකක් බව බගවන්තලාව පොලීසිය පැවසී ය. 

බගවන්තලාව පොලීසිය මගින් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මෙම බෝම්බ දෙක පුපුරුවා හැරීම සඳහා නියෝගයක් ලබාගෙන තිබිණි.

සිද්ධිය පිළිබඳව බගවන්තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

හැටන් - රංජිත් රාජපක්ෂ  

Rate this item
(0 votes)