May 05, 2024

උතුරේ හමුදා කඳවුරු ඉවත් කර නෑ - මහින්දට එජාපයෙන් අභියෝගයක්

වත්මන් ආණ්ඩුව විසින් උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පසුගියදා මාතර පැවති රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යොමුකළ නිවේදනයේ වත්මන් ආණ්ඩුව උතුරේ හමුදා කඳවුරු 59ක් ඉවත් කර ඇති බවට සඳහන් කර තිබුණි.

එම ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යය බවත් ජනාධිපතිවරයා,  අගමැතිවරයා හෝ වත්මන් රජය විසින් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

අදාළ කඳවුරු 59ම ඉවත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ වන අතර උතුරේ හමුදාව අත්පත් කරගෙන තිබු ඉඩම් අක්කර 11,000 න් 5,000ක්ම නිදහස් කර ඇත්තේ එම කාලයේ බව එම නිවේදනයේ සඳහන් වේ.

වත්මන් ආණ්ඩුව යටතේ උතුරේ හමුදා කඳවුරු 59ක් ඉවත් කර ඇත්නම් ඒවා කවරේ ද යන්න පිළිබඳ නම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා හිටපු ජනාධිපතිවරයාට එම නිවේදනයෙන්  අභියෝගයක් ද එල්ල කර තිබේ.

පසුගිය රජයේ සිදුවු දූෂණ අක්‍රමිකතා සැඟවීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස වත්මන් රජයට විවිධ චෝදනා එල්ල කරමින් සිටින බව කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

Rate this item
(0 votes)