May 07, 2024

ප්‍රාඩෝ රථය ගැන හිටපු ජනපති කරුණු පහදයි

පසුගිය ජුනි 09 වනදා තංගල්ලේදී අනතුරකට ලක්වූ  සිරිලිය සවිය සංවිධානයට අයත් ලියාපදිංචි නොකළ ප‍්‍රාඩෝ රථය සම්බන්ධයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඇතැම් අය චෝදනා කරන පරිදි මෙය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් නොවන බවත් මෙම වාහන දෙකම අවුරුදු 10 ක් පමණ පැරණි බවද සැළකිය යුතු බවත් එම නිවේදනය මගින් සඳහන් කර තිබේ. 

එම නිවේදනය පහත පරිදි වෙයි.  

සිරිලිය සවිය ප‍්‍රාඩෝ රථය හා මුදල් අවභාවිතය ගැන චෝදනා 

ඉකුත් ජුනි 09 වනදා තංගල්ලේදී අනතුරකට ලක්වූ  සිරිලිය සවිය සංවිධානයට අයත් ලියාපදිංචි නොකළ ප‍්‍රාඩෝ රථය සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙමින් පවතී. මෙකී වාහනය 2004 දෙසැම්බර් සුනාමියත් සමඟ ලෝක ආහාර සංවිධානය විසින් මෙරටට ගෙන්වන ලද වාහන වලින් එකකි. මේ වාහන ආපදා මෙහෙයුම් කටයුතු සඳහා ක්‍ෂණිකවම අවශ්‍ය වූ නිසා මෝටර් රථ රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි නොවී භාවිතා කළ  හැකි ආකාරයට විශේෂ රතු අංක තහඩු සහිතව ලෝක ආහාර සංවිධානයට ලංකා ආණ්ඩුව විසින් මුදාහරින ලදී.

අවුරුදු ගනණාවක් භාවිතා කිරීමෙන් පසු ලෝක ආහාර සංවිධානය මේ වාහන වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වලට පරිත්‍යාග කළ අතර, 2012 දී සිරිලිය සවියටද මින් සී.ආර්. 109 හා සී.ආර්. 114 යන රතු අංක තහඩු සහිත ප‍්‍රාඩෝ රථ දෙකක් පරිත්‍යාගයක් හැටියට ලැබුණි. මුලදී තීරුබදු රහිතව ගෙන්වන ලද මෙම වාහන ලියාපදිංචි කිරීම සඳහා රේගුව විසින් අධික තීරු බද්දක් පැනවූ අතර එම මුදල ගෙවීමට නොහැකිව පසුගිය වසර තුනක කාලයක් මේ වාහන භාවිතා නොකොට වීරකැටිය ප‍්‍රදේශයේ ඉඩමක ගාල්කොට තිබුණි. මේ වාහන භාවිතා කිරීමට සිරිලිය සවියෙන් කිසිවෙකුට අවසරයක් දී තිබුණේ නැත. ඇතැම් අය චෝදනා කරන පරිදි මෙය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් නොවේ. මෙම වාහන දෙකම දැන් අවුරුදු 10 ක් පමණ පැරණි බවද සැළකිය යුතුය.

ඉකුත් සිකුරාදා මාධ්‍ය හමුවකදි ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය විසින් සිරිලිය සවියේ මුදල් ඇයගේ පුද්ගලික ගිණුමකට හරවාගෙන ඉන් නිවසක් මිලදී ගත් බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය චෝදනා කර සිටියාය. කොළඹ 05, ටොරින්ටන් ඇවනිව්, අංක 260/12 දරණ දේපළ මිලදි ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය ද රාජපක්‍ෂ මැතිණියගෙන් විමසා තිබුණි. මෙකී දේපළ මිලදී ගැනීමට රුපියල් මිලියන 35 ක ණයක් ලබා දී තිබුණේ එතුමියගේ බෑනා වන ව්‍යාපාරික දිල්ෂාන් වික‍්‍රමසිංහ මහතාය. මෙම මුදල රාජපක්‍ෂ මැතිනියට ලබාදුන් ණයක් ලෙස වික‍්‍රමසිංහ මහතාගේ ආදායම් බදු වාර්ථාවල සඳහන් වන අතර එකී මුදල තම පවුලේ ණයක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල වත්කම් ලේඛනයේත්, ආදායම් බදු වාර්ථා වලත් සඳහන් වේ. දැනට ගබඩාවක් හැටියට භාවිතා වන මේ දේපළ මිලදි ගැනීමට සිරිලිය සවියේ මුදල් භාවිතා වී නැත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 15 June 2015 09:36