May 11, 2024

ඇමති රාජිත මීගමුව රෝහල නිරීක්ෂණයට යයි

මීගමුව රෝහලේ ඇති සත්මහල් ගොඩනැගිල්ලෙහි පවතින අවධානම්කාරී තත්වය සහ රෝහල තුළ ක්‍රියාත්මක වන රෝගී සත්කාර සේවාවන් මෙන්ම රෝහල තුල පවතින විවිධ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා පසුගිය දා මීගමුව රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
 
පෙර කී සත් මහල් ගොඩනැගිල්ල රුපියල් මිලියන 500ක මුදලක් වැය කොට නැවත භාවිතයට ගැනීමට සුදුසු වන පරිදි අලුත්වැඩියා කර දිය හැකි බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.පී.ආර්. ජයසිංහ මහතා හා එම විශ්වවිද්‍යාලයේම ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යූ.ජී. නවගමුව මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මීගමුව දිසා රෝහලේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මීට ප‍්‍රථම සඳහන් කර තිබූ අතර එම විද්වත් මණ්ඩලය වැඩිදුරටත් තහවුරු කරන ලද්දේ විදුලි පද්ධතිය, ජලනල පද්ධතිය හා විදුලි සෝපාන අලුතෙන්ම නිර්මාණය කළ යුතු බවයි. 
 
මේ කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය, දේශපාලන අධිකාරිය සමඟ පැවැති විශේෂ හමුවේදී ප‍්‍රකාශ කර සිටියේ රෝහලේ අවදානම් තත්වයේ ඇති සත්මහල් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය සහ විදුලි පද්ධතිය, ජලනල පද්ධතිය හා විදුලි සෝපාන අලුතෙන්ම නිර්මාණය කිරීමට රුපියල් මිලියන 500 ක මුලක් ලබාදෙන බව යි.
 
සෞඛ්‍ය ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, මීගමුව රෝහලේ සංවර්ධන පදනමේ සභාපති අක්ෂි විශේෂඥ වෛද්‍ය සී.ජේ. ඉයන්, නියෝජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ, බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 10:05