May 12, 2024

නොරොච්චෝලේ බලාගාරයෙන් කොමිස් ගැසූ හැටි චන්ද්‍රිකා හෙළි කරයි

රුපියල් මිලියන 280ක මුදලක් වැය කොට නොරොච්චෝලේ තාප බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තම රජය පියවර ගෙන තිබියදී එය අහෝසි කොට රුපියල් මිලියන 510ක් තරම් අති විශාල මුදලක් වැය කොට රාජපක්ෂ රෙජීමය ගල්අඟුරු බලාගාරය ක්‍රියාවට නැංවූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

මේ හරහා රුපියල් බිලියන 15ක කොමිස් ගසා කෑමක් සිදු වී තිබෙන බව ද ඊයේ (12) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය චෝදනා කළාය.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා කළ ආරාධනාවකට අනුව හිටපු ජනාධිපතිනිය ඊයේ දහවල් මුදල් අමාත්‍යාංශයට පැමිණි අතර අනතුරුව ඇය එහි උසස් නිලධාරීහු සමඟ සුහද සාකච්ඡාවක් පවත්වා තිබේ.

වසර 10ක් ර‍ටේ ජනාධිපති ධුරය හා වසර 8ක් මුදල් ඇමැති ධුරය දැරූ තමා මේ වන විට රටට ජනතාවට ආදරය කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙස මේ කරුණු දක්වන බව ඇය කියා සිටියාය.

හිටපු ජනාධිපතිනිය මෙසේද කීවාය. ‘මහින්ද රාජපක්ෂ රෙජීමය සංවර්ධන ව්‍යාපෘතිවලින් සියයට 50කටත් වඩා කොමිස් ගසා ගත්තා. ඒ වාගේම අපි මිලියන 280න් කරන්න සැලසුම් කළ වැඩේ මිලියන 510ක් තරම් ඉහළ නොවටිනා මිලක් ගෙවා කර තිබෙනවා. අපි ගිවිසුම් අස්සන් කළේ ඉතා කීර්තිමත්, පළපුරුදු, වෘත්තීයවේදී ආයෝජන සමාගම් සමඟයි. මේ අය ආයෝජන ගිවිසුම් ගසා කටයුතු කළේ පළපුරුද්ද අඩු වෘත්තීය බව අඩු ආයෝජන සමාගම් සමඟයි. මේ කොමිස් මුදල් අවසානයේ ගෙවන්න සිදු වෙන්නේ රටේ අහිංසක ජනතාවටයි. රටේ ණය බර වැඩි වුණා. අපි විදේශ ණය ලබා ගත්තේ සියයට 02ටත් වඩා අඩු පොලියටයි. මේ අය විදේශ ණය ලබාගෙන තිබෙන්නේ සියයට 09 පොලියටයි.‘ යැයි හිටපු ජනාධිපතිනිය කීවාය. 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 June 2015 09:12