May 12, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ පෞරාණික විදුලි පහණක් අතුරුදන්

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ පස්වන මහලේ පිහිටි නීතීඥවරුන් දිවුරුම් දෙන ශාලාවේ සවිකර තිබූ පෞරාණික විදුලි පහන් කට්ටලයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයන් පිරිසක් අගවිනිසුරුවරයාගේ අවධානය යොමුකර තිබේ. 

ඒ අනුව ඊට අදාළව සහ තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් කරුණු අඩංගු නිර්නාමික ලිපියක් අගවිනිසුරුවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ පස්වන මහලේ පිහිටි මෙම ශාලාවේ අලූත්වැඩියා කිරීම් පසුගිය කාලයේ සිදුකර ඇති අතර, එහිදී ගලවා දැමුණු මෙම විදුලි පහන් කට්ටලය වෙනුවට දැන් සවිකර ඇත්තේ වෙනත් විදුලි පහන් කට්ටලයක් බව සේවකයන් පවසති.

පැරණි විදුලි පහන් කට්ටලයට කුමක් සිදුවුණේදැයි සේවකයන් අදාළ ලිපියෙන් ප්‍රශ්න කරන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවත් නීතීඥ සුනිල් වටගල මහතා පැවසී ය.

Rate this item
(0 votes)