May 19, 2024

ජනපති යාපනයේ දරුවන් සමඟ සාකච්ඡාවක - ජනපති විද්‍යා දැරියගේ මවත් හමු වෙයි (PHOTOS) 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත පාසල් දරුවන් ඇගයීම වෙනුවෙන් ක්‍රියාත්මක සුජාත දරුවෝ වැඩසටහනේ දෙවන අදියර ඊයේ (26) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය වෙම්බඩි කාන්තා විද්‍යාලයේදී පැවැත්විණි.  

උතුරේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ පාසල් 17 ක පාසල් දරුවන් මීට එක්ව සිටි අතර තම පාසල්වල පවතින අඩු පාඩු පිළිබදව මෙහිදී දරුවන් ජනාධිපතිවරයා වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

පාසල් දරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ  ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවද විමසා බැලීය. තම පාසල්වල පවතින අඩුපාඩු කිහිපයක් පිළිබඳ මෙහිදී දරුවන් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, ක්‍රීඩාංගණ ඉදිකිරීම, ආචාර්යවරුන්ගේ හිඟය මෙන්ම විශේෂයෙන්ම වව්නියාව පාසල් දරුවන් මුහුණ දී සිටින ප්‍රවාහන ගැටලුව පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරිණි.

එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම අදාළ නිලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ලිඛිතවද ගැටලු රැසක් ඉදිරිපත් කෙරුණු අතර වෙනමම නිලධාරියෙකු පත්කර එම ගැටලුවලටද කඩිනම් විසඳුම් ලබාදෙන බව හෙතෙම පැවසීය.

යාපනයේ පාසල් දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින මත් උවදුර පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කර විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසීය.

අනතුරුව ජනාධිපතිවරයා යාපනය ආණ්ඩුකාර නිල නිවසේදී ඝාතනයට ලක්වූ දැරියගේ දෙමාපියන් හමු වූහ. ඔවුන්ගේ තොරතුරු විමසමින් අදාළ සිදුවීම් පිළිබඳ තම බලවත් කනගාටුවද ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව යාපනය නාග විහාරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තේය.

විහාරාධිපති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අතර විහාරස්ථානයේ අඩු පාඩු කිහිපයක් පිළිබඳවද උන්වහන්සේ ජනාධිපතිවරයා දැනුවත් කළහ. 

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පා.ම මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීන්ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 May 2015 08:08