May 19, 2024

කොටගල දුම්රිය සංඥාකරු රියදුරන්ට වෙට්ටු දායි (Photos)

නුවරඑළිය හැටන් ප‍්‍රධාන මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට සමගාමීව කොටගල දුම්රිය ස්ථානයට නුදුරුව කොටගල නගර ආසන්නයේ අලූතින් ඉදිකර ඇති දුම්රිය හරස් ගේට්ටුව දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලබාගන්නා ගේට්ටුවක් බවට පත්කර ගෙන ඇති බවට එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් චෝදනා කරයි.

හැටන් සිට නුවරඑළියට පිවිසෙන වාහන රේල් ගේට්ටුව තුළින් පිවිසෙනවාත් සමඟම එම ගේට්ටුව සංඥාකරු විසින් වසා දැමීම හේතුවෙන්  වාහනය රේල් ගේට්ටුවේ ගැටීමට සලස්වා එයට සිදුවන පාඩුව වෙනුවෙන් රුපියල් 25000/- ක මුදලක් කොටගල දුම්රිය ස්ථානාධිපති වරයාට ගෙවීමට ඉඩ සලස්වයි. මේ වන විට වාහන 10 කට වැඩි ප‍්‍රමාණයක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි දිඹුල පොලිසිය පවසන්නේ.

එම දඩ මුදල නොගෙවන අයට අධිකරණය හමුවේ නඩු පැවරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එසේ අය කරගන්නා මුදලින් රියදුරු අතින් දුම්රිය ගේට්ටුව සම්පුර්ණයෙන් සවිකළ යුතුව ඇතත් අය කරගන්නා මුදලින් එම කැඞීගිය කොටස හෝ අලාභහානී සිදුවූ කොටස පමණක් අලූත්වැඩියා කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු කර ඇත්තේ.

තවද දුම්රිය ගේට්ටුව වැසීම සඳහා සංඥාකරුට අලූතින් සකස් කර දී ඇති සංඥා කාමරය පැරණි සංඥා කාමරයට වැසීයාම හේතුවෙන් හැටන් සිට නුවරඑළිය දෙසට ධාවනය වන කිසිදු වාහනයක් නොපෙනෙන තත්වයක්ද ඇති වී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් වාහනය ධාවනය කරන අවස්ථාවේ එක්වරම ගේට්ටුව වසා දැමීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවයි මෙම අනතුරට මුහුණ පෑ රියදුරන් පවසන්නේ.

දුම්රිය පැමිණෙන අවස්ථාවල කිසිදු සැලකිල්ලකින් තොරව ගේට්ටුව වසා දැමීම හේතුවෙන් තමන්ට මෙම අසාධාරණ දඩ මුදල ගෙවීමට සිදුවන බවයි සිද්ධියට මුහුණ පෑ රියදුරන් චෝදනා කරන්නේ. තවද රේල් ගේට්ටුව තිබෙන කොටගල 111සැතපුම් කනුව අසල සංඥා පද්ධතිය සවිකිරීම සඳහා දැනට ඉදිකර තිබෙන එක් කුළුණක් මාර්ග සංඥා වලට පටහැනිව ප‍්‍රතිවිරුද්ධ දෙසින් සවිකිරීම නිසා හැටන් සිට නුවරඑළිය දක්වා රේල් ගේට්ටව පසුකර යන රියදුරන්‍ට මීට වඩා ලොකු අනතුරුවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවද රියදුරන් පෙන්වා දෙයි. මේ පිළිබඳව කොටගල දුම්රිය ස්ථානාධිපති වරයාගෙන් කරුණු විමසීම සඳහා අප එහි ගිය අවස්ථාවේ ඔහු පවසා සිටියේ මාධ්‍යයට තමන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට නොහැකි බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුකුළව දුම්රිය ගේට්ටුවට සිදුවන අලාභය රියදුරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 20:23