May 19, 2024

බුඩපේස්ට් සම්මුතියට ශ්‍රී ලංකාවත්

බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියේ (Budapest Cybercrime Convention) සාමාජිකත්වය ලබන දකුණු ආසියාතික කලාපයේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි. ‍

ශ්‍රී ලංකාව මේ සදහා වන සියළු නෛතික සුදුකම් මේ වනවිට සපුරා ඇතැයිද එම නීති කෙටුම්පත යුරෝපා කවුන්සලය වෙත ලබා දී අවසන් බවද ඉදිරි මාස කිහිපය තුලදී එම සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසී ය.

යුරෝපා කවුන්සලයේ මහලේකම්වරයා විසින් ‍මෙහි සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවට ආරාධනය කර  මාස දෙක හමාරක් වැනි ඉතා කෙටි කාලයක් තුල අදාළ නීති කෙටුම්පත් සම්පාදනය කර එහි යැවීමට හැකි වීම ශ්‍රී ලංකාව පැත්තේන් බලන විට  විශාල ජයග්‍රහනයක් බව ද ප්‍රනාන්දු මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවට මෙම සමාජිකත්වය ලබාදීම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය වන්නේ යුරෝපා ආර්ථික කලාපයේ නීති සමග මෙරට 2007 අංක 24 දරණ පරිගණක නීතිය සැසදීම බව ද හෙතෙම සඳහන් කළේය.

යුරෝපා  කවුන්සලය මගින් ලෝකයේ රටවල් ගණනාවකට මෙම බුඩපේස්ට් සම්මුතියේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ඇරයුම් කර දිගු කාලයක් කාලයක් ගතවී ඇතත් එම රටවලට අදාල සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වීම නිසා සමාජිකත්වය ලබා ගැනීමට තවමත් හැකිවී නොමැත.

මෙවැනි පසුබිමක ඉතා කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවට මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ලැබූ දැවැන්ත පිම්මක් ලෙසින්  සැලකිය හැකි බව ද ප්‍රනාන්දු මහතා පැවසී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල පුර්ණ සහාය මේ සදහා ලැබී තිබෙන බව ද නියෝජිතායතනය පවසයි. 

සයිබර් අපරාධ වැලැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ඇති එකම සම්මුතිය වෙන්නේ ද බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියවන අතර අමෙරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව ආදි රටවල්ද මෙහි සාමාජිකත්වය දරති.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 15:21