May 19, 2024

මැතිවරණ සංශෝධන බල දේශපාලනයේ ගොදුරක් නොවිය යුතුයි - කැෆේ 

මෙරට ජරාජීර්ණ වූ දේශපාලනය සංස්කෘතිය වෙනස් කිරීමේ වැදගත්ම පියවර වන මැතිවරණ ක්‍රමයේ සංශෝධන බල දේශපාලනයේ ගොදුරක් බවට පත්වීම වළක්වා ගත යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කරයි. 

ඔහු මේ බව පැවසූවේ අද (25) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දි කලාකරුවන්, බුද්ධිමතුන්, හා සිවිල් ක්‍රියාකාරිකයින් ගේ සභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවක දී ය.

19 වන සංශෝධනයට එකඟ වීමේ පුර්ව කොන්දේසිය ලෙස  මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව ඉදිරිපත් කල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන්ට මේ වනවිට එය අමතක වී හදිසි මැතිවරණයක් අවශ්‍ය වී ඇති බවත් මෙය බල දේශපාලනයේ සාමාන්‍ය ස්වරූපය බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

රටට අවශ්‍යව ඇත්තේ දේශපාලන සංස්කෘතිය් වෙනසක් මිස බල දේශපාලනය පවත්වා ගෙන යාම නොවන බවත් මෙම මැතිවරණ වෙනස සඳහා සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරිකයින් සහ වෘත්තිකයින්ට පෙරමුණ ගැනීමට සිදුව ඇති බවත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසී ය.  

මෙම මාධ්‍ය හමුව සඳහා, මහාචාර්ය සරත් විජේසුරිය, මහාචාර්ය රොහාන් සමරජීව , ආචාර්ය නිර්මාල් රංජිත්  දේවසිරි, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, නිශ්ශංක දිද්දෙනිය හා කීර්ති තෙන්නකෝන් යන වෘත්තිකයින් සහ කලාකරුවන් රැසක් එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)