May 19, 2024

ක්ෂණික නූඩ්ල්ස් කන්නෙ බලාගෙනයි - රසකාරකයක් නිසා පරීක්ෂණ අරඹයි 

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබේ.

අනුමත ප්‍රමාණයට වඩා ඉන්දියාවේ එම නූඩ්ල්ස්වල ඊයම්  07 ගුණයකින් තිබුණූ බව ඉන්දියා රජය සොයාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවද පරීක්ෂණ ඇරඹූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

වෙළඳපොළෙන් ගත් විවිධ සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට හා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති අතර එම වාර්තා ලැබෙන තෙක් කිසිවක් කිව නොහැකි බව එම අධිකාරියේ සභාපති රුමී මර්ෂුක් මහතා පැවසී ය.

අනුමත ඊයම් ප්‍රමාණය මිලියනයකට කොටස් 0.11 සිට 2.5 දක්වා වන බවත් එම්.එස්.ජී ලෙසද හැඳින්වෙන මෙම රසකාරකයෙන් ඉරුවාරදය, ඔක්කාරය, ඇඟේ පළු මතුවීම පමණක් නොව හදවතටද හානි කළ හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලක, පරිපාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එච්.තිලකරත්න මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මැගී නූඩ්ල්ස් නිපදවන නෙස්ලේ ලංකා සමාගම සඳහන් කරන්නේ තම නිෂ්පාදනයන්හි තත්ත්වය හා ආරක්ෂාවට හැමවිටම ප්‍රමුඛස්ථානය දෙන බවත් පන්නල හා කුරුණෑගල කම්හල්වල මැගී නූඩ්ල්ස් නිෂ්පාදනය කරන බවත් ශ්‍රී ලංකාවේ ආහාර නීති හා රෙගුලාසි පිළිපදින බවත්ය.

නියමිත පර්යේෂණ පැවැත්වෙන බවද ඒ හැම පර්යේෂණයකදීම තම නිෂ්පාදනයේ ආරක්ෂාව ඇති බව සහතික කරන බවද එම සමාගම කියයි. 

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මැගි නූඩ්ල්ස් වල එම්.එස්.ජී රසායනය අනුමත ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබූ බව වාර්තා වූ අතර ඉන්දියා ආහාර හා ඖෂධ අධිකාරිය පවසූයේ තමන් පරීක්ෂා කළ සියලු සාම්පල බාල මට්ටමේ තිබූ බවයි. 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 May 2015 15:34