May 19, 2024

පාසල් බස් රියට වන අලි ප්‍රහාරයක් - සිසුවියන්ට තුවාල (PHOTOS)

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී ඊයේ (23) උදෑසන 5.45ට පමණ බස් රථයකට වන අලියකු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම බස් රථයේ සිටි ගුරුවරියන් දෙදෙනෙකු හා සිසුවියක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් සිසුවියන් කීප දෙනෙකුම සුළු තුවාල සිදුවී හා කම්පන තත්වයකට පත්ව රෝහල් ගත කර ඇත.

හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන් පිරිසක් විද්‍යාලයේම බස් රථයෙන් අධ්‍යාපන චාරිකාවක් සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන අතරමගදී බස් රථයට වන අලි ප්‍රහාරය එල්ලවී ඇත.

අප වාර්තාකරු පැවසූවේ එම බස්රථයට පහරදුන් ස්ථානයට ගොස් ටික වේලාවක් ගතවෙද්දී බස් රථයට පහර දුන් වන අලියා නැවත ප්‍රධාන මාර්ගයට පැමිණ වාහන අතරින් ගොස් ඇති බවයි.

මෙම මාර්ගය දෙපස කුණු කසල ගෙනවිත් දැමීම නිසා ඒවා ආහාරයට ගැනීමට වන අලින් මාර්ගයට පැමිණෙන බවත් එමෙන්ම දඹුල්ල නගරයේ ඉවත දමන කුණු කසල දිගම්පතහා රක්ෂිතයට ගෙනවිත් දමන අතර ඒවා ආහාරයට ගැනීමට එන අලිද මාර්ගය හරහා ගමන් කරන බවත් වාර්තා වේ.

ගතවූ දින 10ක් ඇතුලත මේ ප්‍රදේශයේදී වාහන තුනකට වන අලි පහරදීම් සිදුවූ අතර තුවාල ලැබූ ගණන 15කි.

සිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(කාංචන කුමාර ආරියදාස )

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 May 2015 10:54