May 19, 2024

යාපනයේදී දූෂණය කර ඝාතනය වූ සිසුවිය - ‘මව’ කතාව කියයි

‘ඔව්, හරියටම ගිය අවුරුද්දෙ තමයි මහත්තයෝ ඒක වුණේ. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා උන් හොරකම් කරනවා. දෙවියන්ගේ මූණ බලන මේ ඇස්වලින් දැකපු දේ මම උසාවියේදී කිව්වා මහත්තයෝ. උන් මාව මරණවා කිව්වා. මට පාඩමක් උගන්නනවා කිව්වා. එහෙම කියලා සාක්ෂි දෙන එක නතර කරපන් කියලා කීප වතාවක් මට තර්ජනය කළා.’

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිවලෝගනාදන් විද්‍යාගේ මව අනාවරණය කළේ කයිට්ස් අධිකරණයේ තමා සාක්ෂිකාරියක් වන නඩුවක් පිළිබඳවය.

ඇගේ එම තොරතුරත් සමඟ විද්‍යාගේ සිදුවීමට තවත් පැත්තක් අනාවරණය වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් කයිට්ස් පොලිස් ස්ථානයේ නිලධාරීන් වහා පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

‘කඩවුලේ, මගේ දරුවා. ගෙදර හිටපු අහිංසකී. කොහොමද මෙහෙම කළේ මගේ දරුවගේ මූණ බලාගෙන. දෙවියනේ ඇයි අහක බැලූ‍වේ.’ විද්‍යාගේ මව උහුලා ගත නොහැකි වේදනාවෙන් විලාප නැඟු‍වාය.

‘අනේ උදේම නැඟිටලා ලෙඩ ඇඳේ හිටපු මට සාත්තු සප්පායම් කරලා තමයි ඉස්කෝලේ යන්න එළියට බැස්සේ. එහෙම දරුවවයි මුං කැලේට ඇදගෙන ගියේ.’ විද්‍යාගේ අප්පා අහස දෙසට දෑත් ඔසවා ගෙන පාපතරයන්ට ශාප කරන්නට වූවේය.

බලා සිටියවුන්ගේ නෙතඟට කඳුළු එකතු වූයේ නිරායාසයෙනි. විද්‍යාගේ අම්මාටත් ලෙඩ ඇඳට වැටී සිටි අප්පාටත් විද්‍යාට වුණු අවනඩුව අදහාගත නොහැකි විය.

විද්‍යාගේ අප්පා පැවැසූ ආකාරයටම විද්‍යා අලූ‍යම අවදිවී අම්මාගේ වැඩවලටත් උදවු වී, අප්පාටත් සාත්තු සප්පායම් කොට දෙවියන් නමැද පාසල් යෑමට පිටත් වූවාය. වෙනදා මෙන් පාපැදියේ නැඟී ඇය පුන්කුඩිතිව් 09 වැනි පටුමඟ දිගේ පාසල වෙතට ඇදුණාය.

‘අද යාළුවෝ කවුරුවත් නෑ. ඉක්මනට යන්න  ඕනෑයි සිතූ ඇය දෙපයේ වේගය වැඩි කළාය. එහෙත් ඇගේ වේගය මීටර් අටසීයක් වැනි දුරකදී අඩාල වූවාය. එදින ඇය පාසල වෙත ගියේද, නැවැත නිවෙසට ගියේද නැත.

‘අද දුව හොඳටම පරක්කුයි. හවස් වෙලා කවදාවත් මෙහෙම වෙලා නෑ.’ විද්‍යාගේ මව පාර අද්දරට ගොස් මඟ බලා උන්නාය. ඇගේ දෑස් බොඳ වෙනතෙක් ඇය බලා උන්නාය. ඇගේ කටේ කෙළ සිඳෙන තෙක් ඇය මඟතොට ආගියවුන්ගෙන් තම දියණිය දුටුවා දැයි ඇසුවාය.

‘මගේ දුව අද පරක්කුයි නේද?’ ලෙඩ ඇඳේ සිටි විද්‍යාගේ අප්පා අම්මාගෙන් විමසුවාය. ‘ඒක නේන්නම් පැය කීයක් ගියාද, මම යනවා දුවව හොයන්න’ විද්‍යාගේ මව කඩුල්ල පැන්නාය. ගැහෙන හදින් යුතුව ඇය විද්‍යාගේ මිතුරියකගේ නිවෙසට ගියාය.‍

‘අද විද්‍යා ඉස්කෝලේ ආවේ නෑ අම්මේ’ ඇගේ පිළිතුරින් විද්‍යාගේ මව වික්ෂිප්ත විය. ඊළඟට කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? කියාවත් හරි හැටි නොතේරෙන්නට විය. ගමේ සිටි කිහිප දෙනකු කැටුව ඇය මඟට බැස්සේ දියණිය සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.

‘අපි විද්‍යාව හොයන්නම්, අම්මා පොලිසියේ පැමිණිල්ලක් දාන්න’ පිරිසගේ තීරණය අනුව ඇය නීතියේ පිහිට පැතුවාය.

ගමේ සියලූ‍දෙනාම මධ්‍යම රාත‍්‍රිය පසුවන තෙක් විද්‍යා පිළිබඳ සෙව්වත් කිසිදු හෝඩුවාවක් දැනගත නොහැකි විය. කඳුළු බොමින් විද්‍යාගේ අම්මාත් අප්පාත් කඩුල්ල දෙස බලා සිටියේ විද්‍යාගේ මුහුණ දැක ගැනීමේ අරමුණිනි.

පසු දින උදෑසනම පිරිස විද්‍යා සෙවීමට පටන් ගත්හ. විද්‍යා පාසල් යෑමට භාවිත කළ කාන්තා පාපැදිය පටු පාරක් අද්දර වැටී තිබූ ආකාරය ඔවුහු දුටුවෝය. ඒ අසලට ගිය ඔවුනට ඇගේ එක් සපත්තුවක්ද සොයා ගත හැකි විය. ඉදිරියෙන් තිබූ ගරාවැටී ගිය නිවෙස ඔවුන්ගේ සිතට ගෙන ආවේ දැඩි සැකයකි.

පොළොවට බර අඩි තබමින්, එකිනෙකාගේ මුහුණ බලමින්, එකා පසු පස එකා අබලන් නිවෙසට ඇතුළු වූහ. දුටු දසුනින් ඔවුහු මහත් කැලැඹිල්ලට පත්වූහ. අමානුෂික අන්දමින් ඝාතනය කර තිබූ විද්‍යාගේ සිරුර ඔවුනට හමු විය. පැමිණි පිරිසෙන් අයෙක් ඇගේ සිරුර අසල තිබූ රෙදි කඩකින් වසා දැමුවේය. සිදුවී ඇති දෙය සියලූ‍දෙනාට වැටහී ගියේය.

‘මොන අපරාධයක්ද?’ සියලූ‍ දෙනාටම ඇති වූයේ දැඩි ආවේගයකි. 18 හැවිරිදි විද්‍යාට සිදුවූ දෙය ඔවුහු කැලඹීමට පත් කළහ.

පිරිසෙන් අයෙක් විද්‍යාගේ සිරුර හමුවී ඇති බවට පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ විය. ඇය මරා දැමුවේ කවුරුන්ද යන්න සියලූ‍දෙනාටම ගැටලූ‍වක් විය.

‘මගේ දරුවාට හතුරෝ හිටියේ නෑ, හැමෝම එක්ක යාළුයි. හැමෝම ආදරෙයි. ඒත් මහත්තයෝ මට තරහකාරයෝ ඉන්නවා.’ ඇගේ කතාවත් සමඟ පොලිසියේ සියලූ‍ විමර්ශනයන් වෙනත් දිශාවකට යොමු විය.

ඇගේ ප‍්‍රකාශයත් සමඟ එකම පවුලේ සහෝදරයන් තිදෙනකු කෙරෙහි සැකය යොමු විය. පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් (40), පූබාලසිංහම් ජයකුමාර් (34), පූබාලසිංහම් නවකුමාර් (30) වෙත පොලිසියේ සැකය යොමු විය. වහාම ඔවුන් සොයා ගිය පොලිස් නිලධාරීහු ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගත්හ.

‘විද්‍යාව මැරුවේ අපි නෙවෙයි. අපි විද්‍යාව හොයන්නත් ගියා, එයාගේ මළ ගෙදරටත් ගියා,’ ඔවුන් තිදෙනා පුන පුනා පවසන්නට වූහ.

පසුව තවත් බොරු කියන එක තේරුමක් නැති බවත් නහයටත් උඩින් වතුර ගලා ඇති බව වටහා ගත් ඔවුන් තමන් කළ අපරාධය ගැන වමාරන්නට වූහ.

‘අපිට විරුද්ධව කයිට්ස් මහාධිකරණයේ නඩුවක් තියෙනවා. හොරකමක් ගැන. ඒකෙ ඇසින් දුටු සාක්ෂිය විද්‍යාගේ අම්මා. ඒ ගෑනිට අපි කිව්වා සාක්ෂි දෙන එක නතර කරන්න කියලා. ඒත් එයා ඒක නතර කළේ නෑ. නඩුව අපිට අවාසි වෙන විදියටයි විභාග වෙන්නේ ඒ ගෑනි නිසා. ඒ නිසා අපිට  ඕන වුණේ එයාගෙන් පළිගන්න.

පළිගන්න විදියක් හිත හිත ඉද්දි අපේ යාළුවෙක් කිව්වා විද්‍යාව අරගෙන ගිහින් රේප් කරපන් කියලා. අපි තුන්දෙනා ඊට පස්සේ මේ කොන්ත‍්‍රාත් එක තව කොල්ලෝ කීපදෙනෙක්ට භාර දුන්නා. වැඬේට උන් රුපියල් දහදාහක් ඉල්ලූ‍වා. අපි සල්ලි දුන්නා.

13 වැනිදා උදේ විද්‍යා පාසල් යනකන් අපි බලන් හිටියා. හැමදාම හතයි දහයට විතර එයා බයිසිකලෙන් යනවා. එදා පාරෙදි යාළුවෝ හම්බවුණෙත් නෑ. ඒක අපිට වාසි වුණා. කවුරුත් නැති පාළු හරියකදී අපි පාර හරස් කරලා විද්‍යාව කැලේ තිබුණු පාළු ගේකට අරගෙන ගියා. අපි බීලා හිටියෙත්. ඒ වෙලාවේ තරහ විතරයි හිතේ තිබුණේ.

විද්‍යා කෑ ගහන්න පටන් ගත්තම අපිට බය හිතුණා. ඒකි දඟලන්න පටන් ගත්තා. පොරකන්න, හපන්න, ගහන්න පටන් ගත්තා. ඒ නිසා එයාගේ දිග කොණ්ඩ කරල් දෙක ගැටගහලා තිබුණු රිබන් පටියක් අරගෙන අත්දෙක බැන්දා. අනෙක් රිබන් පටිය අරගෙන ගහක බැන්දා. සුදු ගවුමේ බෙල්ට් එක අරගෙන කකුලක් ළඟ තිබුණ ගහක බැන්දා. කෑ ගහන නිසා අපි රෙදි කටේ එබුවා....’ කිසිදු හිරිකිතයකින් තොරව ඔවුහු එකිනෙකා ඇය කෙලෙසා දැමූ අයුරු පාපෝච්චාරණය කරන්නට වූහ.

ඇගේ මුවට ඔබා තිබූ රෙදි කඩ සිරවීමෙන් ඇගේ හුස්ම හිර වන්නට ඇත. ඇගේ මුවින් ඇගේ වේදනාවන් පිට කරන්නට අවස්ථාව අහිමිව ගියාය.

නරුම ද්වේෂය ඇගේ මොළකැටි සිරුරින් සන්තර්පණය කර ගත් පසුව ඔවුන් සූදානමින් සිටියේ කොළඹ ප‍්‍රදේශයට පලා එන්නටය. ඔවුන් තිදෙනාගේ සාක්ෂියෙන් විද්‍යාව කෙලෙසූ ඉතිරි පාපතරයන් කිහිප දෙනාද අත්අඩංගුවට ගත හැකි විය. පුන්කුඩිතිව් ප‍්‍රදේශයේ තිල්ලේනාදන් (31), සුෂිදරන් (30), ශිවදේවන් (23), කුගදාසන් (26), ගෝපිතන් (26), යන සැකකරුවෝ ඒ අතර වූහ.

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබා ඇති තාවකාලිකව වැල්ලවත්තේ පදිංචිව සිටි මහාලිංගම් සෘෂිකුමාර් (41) නමැත්තාද පසුව අත්අඩංගුවට පත්විය.

Rate this item
(6 votes)
Last modified on Sunday, 24 May 2015 09:32