May 20, 2024

නයිජීරියා කොල්ලකරුවන් අතර සිටින ලාංකිකයාට කුමක් වෙයිද?

නයිජිරියාවේදී කොල්ලකරුවන් පිරිසකගේ ග්‍රහණයට හසු වූ ශ්‍රී ලාංකික සිවිල් ඉංජිනේරුවරයා මුදා ගැනීමේ සාකච්ඡා සාර්ථක මට්ටමට ළඟා වී ඇතැයි එරට තානාපති අංශ පවසයි.

වසර 23 කට වැඩි කාලයක් නයිජිරියාවේ පිහිටි ඉතාලි ඉදිකිරීම් සමාගමක සේවය කරන ඩී.ඒ. කරුණාදාස මහතා ඉකුත් 18 වැනි දා කොල්ලකරුවන්ට හසු වූ බව සඳහන්.

ඒනයිජීරියාවේ කොගි සහ ඔන්ඩු පළාත් සීමාවේදීය.

නයිජීරියාවේදී පැහැරගැනීමට ලක් වූ ඩී.ඒ. කරුණාදාස මහතාගේ බිරිඳ සහ දියණිය පදිංචි වී සිටින නිවසට පිහිටා තිබෙන්නේ කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේය.

යසවති කරුණාදාස මහත්මිය හෙවත් පැහැරගත් පුද්ගලයාගේ බිරිද මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නකි.

“ලේගෝස්වල ඉදලා එයා මාරු කරලා තිබුනා ඔකේනි කියන පළාතට. ඒ ඔකේනිවලින් තමයි එයා පැහැරගෙන ගිහින් තියෙන්නේ උදේ වැඩට යනකොට. එයාට දිලා තිබුණා පොලිස් ගාඩ් කෙනෙක්‍. එයාගේ ඩ්‍රයිවර් හිටියා. තුන්දෙනා යනකොට තමයි මේ කැලේ ඉදලා වෙඩි තිබ්බා කියලා මට දැනගන්න ලැබුණේ.”

කොල්ලකරුවන්ගේ වෙඩි තැබීමෙන් ආරක්ෂක නිලධාරියා මියගිය අතර දරුණු ලෙස තුවාල ලැබු රියැදුරු ඔන්ඩෝ මධ්‍යම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පැහැරගැනීමට ලක් වු කරුණාදාස මහතා අවස්ථා කිහිපයකදි නිවැසියන්ට දුරකතන ඇමතුම් ලබා දී තිබුණි.

පැහැරගත් පුද්ගලයාගේ දියණියවන මිහිරි සෙනාලි රත්නසේකර මෙසේ සඳහන් කළාය.

“නයිජීරි‍යාවේ ඒ වා‍ගේ දේවල් පැහැරගෙන යන ඒවා තියෙනවා. හැබැයි ශ්‍රී ලාංකිකයෙකුට ඒක උන එක පළවෙනි සැරේ. කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපේ තාත්තව ආරක්ෂිතව අපිට ගෙනත් දෙන්න කටයුතු කරන්න කියලා.”

Rate this item
(0 votes)