May 08, 2024

යාපනයේ සිසුවියගේ සැබෑ කතාව හෙළිවෙමින් පවතින අතරේ යාපනයේම තවත් 02 ක් අතුරුදහන්

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ නොසන්සුන්තාව නිසි ලෙස පාලනය කිරීමට කටයුතු නොකිරීම ඇතුළු හේතු කිහිපයක් පදනම් කැරගෙන යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් ප්‍රධානීන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අමතරව යාපනය පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, කයිට්ස් පොලිස් මූලස්ථානාධිපති, යාපනය පොලිස් මූලස්ථානාධිපති මෙසේ හදිසියේම මාරු කර තිබේ. යාපනය පොලිස් මූලස්ථානාධිපති රංජිත් බාලසූරිය මහතා වවුනියාවටත්, කයිට්ස් පොලිස් මූලස්ථානාධිපතිවරයා මන්නාරමටත් මාරු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර යාපනයේ පුංකුඩුතිව්හි 17හැවිරිදි  පාසැල් දැරිය සමුහ දුෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු ඇති වු කලබල සමනය කිරීම සඳහා යාපනයේ මහේස්ත්‍රාත් උසාවිය උතුරේ  සංවිධාන තුනකට උද්ඝෝෂණ වැලැක්වීමේ නියෝගයක් නිකුත් කර ඇත.

දෙමළ ජාතික සංධානයේ හිටපු  ප්‍රාදේශීය මන්ත්‍රී  ටී. කුමාර වේලු සභාපතිත්වය දරණ ජනතා බලය සංවිධානය,   යාපනයේ කාන්තා බලය  හා උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් මුලිකත්වය දරණ  සංවිධාන එම සංවිධාන තුනයි.

තවද යාපනයේ පුංකුඩුතිව්හි 17 හැවිරිදි  පාසැල් දැරිය සමුහ දුෂණය කර මරා දැමීමේ සිද්ධියේ සැබැ කතාව දැනට දැනගන්නට ඇති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් බව සිද්ධිය පිළිබඳව අභ්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු සඳහන් කරයි.

යාපනයේ ජ්‍යෙෂ්ඨතම පොලිස්‌ නිලධාරින් මාරු කරද්දීත් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාට ස්‌ථාන මාරු ලබා නොදීම සම්බන්ධයෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ දැඩි විරෝධයක්‌ ඇති වී ඇති බවත් වාර්තා වෙයි.

අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ එක්‌ සැකකරුවකු නිදහස්‌ කිරීමට මේ නිලධාරියා නියෝග කර තිබූ බවට චෝදනා එල්ලවී තිබිණි යැයි ද මාධ්‍ය ඔස්සේ වාර්තා විය. එම නිලධාරියාට ඒ සඳහා එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරියක බලපෑම් කර තිබූ බවද එහි සඳහන්.

කෙසේ වෙතත් එලෙස නිදහස්‌ කළ සැකකරු පසුව ඇතිවූ දැඩි මහජන විරෝධය මත වැල්ලවත්තේදී රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්හ.

--------------------------------------------------------

මේ අතර යාපනයේ තවත් පළාත් දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු අතුරුදහන්වී ඇති බවට අදාළ පළාත්වල පොලීසි වෙත පැමිණිලි ලැබී තිබේ.

මේ අන්දමට අතුරුදහන් වී ඇත්තේ යාපනයේ වේලනෙයි පළාතේ කකුලුවන් ඇසුරුම් කරණ කර්මාන්ත ශාලාවක සේවය කළ වයස අවුරුදු 20 ක තරුණියකි. එමෙන්ම යාපනයේ සන්දිලිපායි පළාතේ කාන්තාවක් ද 21 වෙනිදා මුලතිවු බලා පිටත්ව ගොස් ඇතත් ඇය පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් නැති බවටද  පොලීසියට පැමිණිළි ලැබී ඇත.

මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොළිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන්  විමසූ විට ඔහු කියා සිටියේ වේලනෙයි පළාතෙන් අතුරුදහන් වූ කාන්තාව පිළිබදව ඇගේ පුංචි අම්මා කෙනෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවයි. අනෙක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නැතැයිද පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

වව්නියාව - දිනසෙන රතුගමගේ

 

Rate this item
(7 votes)
Last modified on Saturday, 23 May 2015 09:42