May 19, 2024

මෛත්‍රී ජනපති මහින්ද අගමැති / විශේෂ ක්‍රමයට නාමයෝජනා

ඉදිරි මහ මැතිවරණයෙන් පසු අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව එකඟතාව පළකර ඇතත් එය ප්‍රසිද්ධියේ නොපවසා ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (20දා) ප්‍රකාශ කළේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු නාමයෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමකින් තොරව සුවිශේෂි ආකාරයෙන් නාම යෝජනා ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා ඊයේ (20) පැවැසීය. එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන පිරිස්‌ සම්මුඛ පරීක්‍ෂණ සඳහා නාම යෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමට සූදානමින් සිටින බවද ඊයේ (20) ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා පැවසීය.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේ මහින්ද රාජපක්‌ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ඊට බාධාවක්‌ නොමැති බව ජනාධිපති මෛත්‍රීරිපාල සිරිසේන මහතාද මීට පෙර ප්‍රකාශ කර ඇතැයි යන්නය.

තමන් ඇතුළු පිරිස තවමත් උත්සාහ ගන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට බව පැවසූ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ සභාපතිවරයා වුවද, එහි මහලේකම්වරයා ලෙස නාම යෝජනාවලට අත්සන් තබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා බවය.

මේ වනවිට ඇති වී තිබෙන ගැටලු විසඳාගනිමින් සන්ධානයෙන් නාමයෝජනා ලබාගැනීමට කළ හැකි උපරිම උත්සාහය දරන බවද ඔහු කීය.

 “මේ ඡන්දෙන් පස්සෙ එන්නෙ සන්ධාන ආණ්ඩුවක්. මහින්ද මහතා පෙරටු කරගෙන ආණ්ඩු වැඩපිළිවෙළයි, මැතිවරණ වැඩපිළිවෙළයි මේ දිනවල සකස් කරගෙන යනවා. සිරිසේන මහතා ජනාධිපති හැටියට ඉන්න අතර මහින්ද මහතා අගමැති හැටියට වැඩ කරනවා නම් ඊට අප එකඟයි. ඒ එකඟතාවට එන්න සිරිසේන මහතා සූදානම් බව කියා තිබෙනවා. ඒක අපි සාදරයෙන් පිළිගන්නවා.

අපට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලැබිය හැකි බවට තාම විවෘතයි. සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීතුමා ලේකම් විදියට අපේ නාමයෝජනා අත්සන් කරනවා නම් අපි ඉල්ලන්න සූදානම්.

කොටස් දෙකක් වශයෙන් තරග කරන්න ගිහින් එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන එක නවත්වන්නයි අපි උත්සාහ ගන්නේ. ඒකට තමයි සාකච්ඡාවට ගියේ. අගමැතිකමට හිඟා කකා ආවා කියලා රාජිත කිව්වාම එක්සත්කමට ඒ අයගේ සූදානම කුමක්දැයි නොපෙනේද?. රාජිතව බැහැර කරලා හරි එක්සත්කමට යන්න අපි ලෑස්තියි. අපට කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. ජනාධිපතිතුමා එම තනතුරේ ඉද්දි අගමැතිකම මහින්ද මහතාට දෙන බවට පෞද්ගලිකව එකඟතාව පළ කරලා තියෙනවා. ඒක ප්‍රසිද්ධියේ කියලා නැහැ" යනුවෙන් පවසා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 May 2015 09:40