May 19, 2024

ඇඳිරිනීතිය දමා ප්‍රතිඵල අත්හිටුවීමේ සැලැස්ම ජනපති කියයි

ජනපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් තිබිය දී ජනවාරි 08 වැනි දා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් පැවැත්වෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (20) පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවා ඇඳිරිනීතිය පැනවීමේ සැලැස්මක් තිබූ බව ද එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

මේ අතර යුද සමයේ මානව හිමිකම් කඩවී යැයි කියන චෝනදා ගැන දේශීය පරීක්ෂණය ලබන ජූනියේ දී ආරම්භ කර සැප්තැබ්මරයේ අවසන් කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පුවත්පත් කතුවරුන් සමඟ පැවසීය.

විදේශ පරීක්ෂණයකට රජය අකමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට පැවසූ බවත්, ඔහු එය පිළිගත් බවත් ජනපති එහිදී පෙන්වා දී ඇත.

තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ‘විල්පත්තු රක්ෂිතය එළි කිරීම වැරදියි. කිසිම රක්ෂිතයක් එළි නොකළ යුතුයි. වනාන්තර කැපීම නතර කළ යුතුයි. අවතැන්වූවන් හා දෙවැනි තෙවැනි පරපුරේ අයට ඉඩම් දිය යුතු බව ඇත්ත. ඒත් රක්ෂිත ඒ සඳහා පාවිච්චි කළ නොහැකියි. එසේ නොකළ යුතුයි.

විල්පත්තු පැත්තේ නැවත පදිංචි කරවා ඇත්තේ ගිය රජය යටතේ ඉඩම් පිළිබඳ කාර්ය සාධක බළකායේ නිර්දේශ මතයි. මේ ගැන පරීක්ෂණ පැවැත්වෙනවා.

මහා පරිමානයේ වංචා ගැන සෙවීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසිරුවන්නේ නැහැ. එහෙම විසිරුවන බවක් මා කීවෙත් නෑ. එම කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනයේ එක් වගන්තියක් වෙනස් කළ යුතු බව මා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කළා.

ව්‍යවස්ථා දායක සභාව ළඟදී පිහිටුවනවා. ලබන ඡන්දය වෙනුවෙන් මේ සතියේම නාමයෝජනා කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය ගැන ජනාධිපති කාර්යාලය වෙනම පරීක්ෂණයක් පවත්වනවා.' යනුවෙන්ද සඳහන් කර ඇත.

 

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 May 2015 12:27