May 03, 2024

ඇවන්ගාඩ් සිද්ධියේ චෝදනාලත් අය අත්අඩංගුවට ගන්න යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නීතිපති දෙපාර්තමේන්තුවට ඇවන්ගාඩ් අවි ගනුදෙනුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවෙහි මෙයට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු නම් කර තිබුණද ඔවුන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.

ඒ අනුව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සිදු කළ පරීක්ෂණ මඟින් චෝදනා ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවැසීය.

ඊයේ (28) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකදී නියෝජ්‍ය ඇමැතිවරයා පවසා සිටියේ තමන් මේ වාර්තාව කඩිනමින් අධ්‍යයනය කර සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව අනුව ඇවන්ගාඩ් අවි ගනුදෙනුව සම්බන්ධයෙන් එහි අධිපති නිශ්ශංක සේනාධිපති, අධ්‍යක්ෂ මංජුල කුමාර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩී.එම්.එස්. ‍ජයරත්න, රක්නාලංකා සමාගමේ අධ්‍යක්ෂවරයකු වන මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අය චෝදනා ලැබ ඇති බව කියවේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ හා ගිනි අවි පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධ පනත යටතේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙතරම් ප්‍රමාද වීම පිළිබඳ කරුණු සොයා බලන බවත් අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගන්නා බවත් අධිකරණ නියෝජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)