May 03, 2024

19 න් ලැබෙන ප්‍රතිලාභ මේවා

සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීම.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම.

1. මැතිවරණ කොමිෂන් සභාව

2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

3. ජාතික පොලිස් කොමිෂන් සභාව

4. විගණන සේවා කොමිෂන් සභාව

5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව

6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

7. මුදල් කොමිෂන් සභාව

8. සීමා නිර්ණය කොමිෂන් සභාව

9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප්‍රතිසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද‍ පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම එහි සුවිශේෂි අවස්ථාවක් වේ.

මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතේ 'විධායක ජනාධිපතිධූරය'අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරෙන බවට විධිවිධාන ඇතුළත් වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එම වගන්ති ඉවත් කර තිබේ.


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය වීමේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් එය සම්මතවී අනතුරුව ජනමත විචාරණයකින්ද සම්මත විය යුතු බවය.

ඒ අනුව ජනමත විචාරණයකට යායුතු බවට පැවසෙන වගන්ති සියල්ල කෙටුම්පතෙන් ඉවත්කර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟවී එය එසේම ඉටුකරන බැවින් එකී එක් වගන්තියයක් වූ විධායක ජනාධිපති ධූරයේද ඇතැම් බලතල සීමාවීමක් මිස විධාය ජනාධිපති ධූරය අහෝසිවීමක් කිසිසේත්ම සිදුනොවේ.

ඒ අනුව 19 සම්මතවීමෙන් පසු 18 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම අහෝසිවන බැවින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ජනාධිපති ධූර කාලය වසර 5ක් පමණි.(පැවතියේ වසර 6කි).දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි අතර ජනාධිපතිට එරෙහිව නඩු පැවරීම කළ හැකිය.

19 වන ව්‍යවස්ථා මුල් කෙටුම්පතේ දැක්වුණු අන්දමට ජනාධිපතිවරයාට පුද්ගලික කාරණාවලට අදාළව පමණක් නඩු පැවරිය හැකි වුවද සංශෝධන සහිතව සම්මතවූ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එ‍රෙහිව මූලික අයිතිවාසිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකිය. එසේ වුවද ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩු ගොනු කළ නොහැකි බව ද එහි සඳහන්ය.

ස්වාධීන කොමිෂන් සභාවන් කෙරෙහි සැලකිල්ල යොමුකිරීමේදී මැතිවරණ කොමිෂන් සභාව හැර සෙසු කොමිෂන් සභා සියල්ල පාර්ලිමේන්තුවට වගකිව යුතුය.

අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය තවදුරටත් ජනාධිපතිවරයා සතුවන අතර ඔහු විසින් එකී පත්කිරීම් සිදුකිරීමේදී අගමැතිවරයාගෙන් විමසා තීරණ ගත යුතු බැව් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය.

එසේ වුවද ජනාධිපතිවරයා යම් හෙයකින් අගමැතිවරයාගේ එකඟත්වය ලබා නොගන්නේනම් ජනාධිපතිවරයාගේ ක්‍රියාව අභියෝගයට ලක්කරමින් ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි අතර ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතුය.

 

Rate this item
(5 votes)
Last modified on Thursday, 30 April 2015 09:11