May 03, 2024

ඇස් දෙක ඉදිරියේ ලිෆ්ට් එක කඩාගෙන වැටුනා / නේපාල භූ කම්පනයෙන් නොමැරී බේරුණු හැටි

‘‘අපි අවසාන තරගයට යන්න සුදානම් වෙලා හිටියේ. අපි නතර වෙලා හිටිය හෝටලයේ 7 වෙනි තට්ටුවේ අපිට එදා විශේෂ දිවා භෝජනයක් සුදානම් කරලා තිබුනා. අපි විදුලි සෝපානයේ ගිහින් 7 වෙනි තට්ටුවට බැස්සා විතරයි එක පාරටම දෙදරන්න ගත්තා. ඒ තට්ටුවට පහල තිබුනේ නයිට් ක්ලබ් එකක්. එහි මිනිසුන් හිටියේ නැහැ. ඒත් එහි තිබු භාණ්ඩ පෙරලෙන්න ගත්තා. ඉන්පස්සේ ඔක්කොම දේවල් වැටෙන්න ගත්තා.  අපි මුලින්ම හිතුවේ අපි ලිෆ්ට් එකේ ආපු නිසා පොඩි හෙල්ලීමක් වෙනවා ඇති කියා.  ඒ තට්ටුවේ කව්රුත් හිටියේ නැහැ. ඔක්කොම වීදුරු බිදෙන්න ගත්තා. මාත් එක්ක හිටපු එක් අයෙකුගේ ඇගට බඩු මුට්ටු පෙරලිලා එයාට අමාරු උනා. අපිට අල්ලගන්න තැනක් තිබුනේ නැහැ. දැන් හයියෙන්  හෙල්ලෙනවා.  යුධ හමුදාවේ අක්කා කෙනෙකුත් මාත් එක්ක හිටියා.  ලිෆ්ට් එකට එහායින් දොරක් තිබුනා. ඒ අක්කා කිව්වා ඒ දෙර අරින්න කියලා.  ඒ ඒක්කම  ඇරිලා තිබුන ලිෆ්ට් එක කඩාගෙන වැටුනා. අපි එය හොදට දැක්කා. ඉන් පස්සේ අපි පඩි පෙල දිගේ පහලට දිව්වා. අපි හතරදෙනෙක් හිටියා හතර දෙනාම ඇදගෙන තමයි දිව්වේ. අපි පහලට එනකොට ස්විමින් ෆූල් එක ඉස්සරහට ඇදිලා ඇවිත් තිබුනා. වතුර එළියට ඇවිත් ගලලා තිබුනා.

 ඒ වගේම ගොඩක්   දෙනෙක් අමාරු වෙලා තුවාල වෙලා හිටියා. ඔළු පැලිලා හිටියා. හෝටලය සම්පුර්ණයෙන් වීදුරු කැඩිලා, සිවිලන්ං කැඩිලා තිබුනා.

පස්සේ අපි විවෘත ස්ථානයකට ඇවිත් ගෙවල් වලට කතා කරලා විස්තරය කිව්වා. තානාපති කාර්‍යාලයටත් කතා කළා.  පස්සේ ටික වෙලාවකින් හෝටලයේ අය කිව්වා දැන් ඇතුලට එන්න කියලා. අපි හතරවෙනි තට්ටුවට ගියා. අපි හිටිය කාමරය සම්පුර්නයෙන්ම විදුරු කැඩිලා සිවිලිම කැඩිලා තිබුනේ. පස්සේ අපි තානාපති කාර්යලායට කතා කරලා කිව්වා අපිට මේකේ ඉන්න බැහැ කියලා. ඔවුන් කිව්වා ඔයාලා තවත් ඔතන ඉන්න එපා එළියට එන්න කියලා.  අපි ටික දෙනයි ඒත් එලියට ආවේ. අනිත් අය ඇතුලේ හිටියා. අපි එළියේ වැස්සට තෙම තෙමී හිටියා.  පස්සේ අපිට බස් එකක් දුන්නා ඒකට නැගලා ඉන්න කියා. අපි ඒකට නැගලා ඉන්නකොටත් හෙල්ලීම් ඇති උනා. එදා  අපි බස් එක ඇතුලේ නිදි වර්ජිතව රැය පහන් කළා.

පහුවදා තානාපති කාර්යාලයෙන් කිව්වා ගුවන් තොටුපලට එන්න කියා. අපිට යන්න ගුවන් යානයක් එනවා කිව්වා. අපි ආව ගුවන් යානයට ගොඩ උනා. ඒක පන ගන්වලා කිව්වා තවත් භූමි කම්පාවක් ඇති වෙලා තියෙනවා. ගුවන් පථය පැහැදිලි නැහැ දැන් යන්න හැකියාවක් නැහැ කියා. අපි පස්සේ ගුවන්තොටුපලට ගිහින් නැවතත් ගුවන් යානයටම ආවාම කිව්වා ගුවන් යානයේ තෙල් ලීක් එක්ක තියෙනවා හදාගෙන තමයි යන්න වෙන්නේ කියා.  අපි ගොඩක් බය වෙලා හිටියේ. ජීවිතේ බේරාගෙන මේ විදිහට එන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි.”

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානයෙන් පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ 42 දෙනා අතර සිටි ඇය තම අත්දැකීම් මෙසේ විස්තර කළාය.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 April 2015 22:12