May 19, 2024

තුන්නාගේ නොසන්සුන්තාව කඩාකප්පල්කරුවන්ගේ වැඩක්  

හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ ගැටළුවට විසදුමක් ලබා දීමට නියමිතව තිබියදී එම ප්‍රදේශවාසීන් නීතිය අතට ගෙන කටයුතු කිරීම පිටුපස කඩාකප්පල්කාරී පිරිස් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

තමන් ඊයේ (15) එම ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන් සමඟ ඉතා සුහදව සාකච්ඡා කළ බවත් එහිදී මෙම ගැටළුවට විසඳුමක් ලබා දීමට ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට එකඟ වූ බවත් හෙතෙම පෙන්වා‍ දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී එම ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ අදාල රබර් කර්මාන්ත ශාලාව එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින බැවින් එය අධිකරණ තීන්දුව මත ඉවත් කිරීමට සූදානම් බවත් එතෙක් නීතිය අතට ගෙන කටයුතු නොකරන බවත්ය.

නමුත් අද(16) පෙරවරුවේ තුන්නාන ප්‍රදේශවාසීන් විශාල පිරිසක් හයිලෙවල් මාර්ගයට පැමිණ මාර්ගයට ගස් කපා දමා මාර්ගය අවහිර කරමින් ‍කළහකාරී හැසිරුණු බවත් එහිදී පොලිස් නිලධාරියෙකුගේ ජීවිතයක් බිලිගත් බවත් එම ක්‍රියාව තමා පිළිකුල් ලෙස හෙළා දකින බවත් ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ ය.

මෙම රබර් කර්මාන්ත ශාලාව වසර 10කටත් වඩා පැරණි කර්මාන්ත ශාලාවක් වන අතර එම කර්මාන්ත ශාලාවද හෙලීස් සමූහ ව්‍යාපාරයට අයත්වේ. මෙම කර්මාන්ත ශාලාවේ නිලධාරීන් පවසා ඇත්තේ ‍රබර් නිෂ්පාදන සිදු කළද තම කර්මාන්ත ශාලාව පරිසර හිතකාමීව කටයුත කර ඇති බවයි.

මෙම ගැටළුව පිළිබඳ සෙවීමට මධ්‍යම පරිසර අධිකාරිය රාජ්‍ය ආයතන කිහිපයක් පරීක්ෂණ සිදු කරන අතර ශ්‍රී ලංකා ආ‍යෝජන මණ්ඩලයද විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

ප්‍රභාත් මාතරගේ   

Rate this item
(1 Vote)