May 19, 2024

මැතිවරණය ගැන ජනතාව සෝදිසියෙන්

පසුගිය මැතිවරණයට වඩා මෙවර පලාත් සභා මැතිවරණයේදී මැතිවරණ නීති කඩවීම් පිළිබඳ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කරන බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්තී තෙන්නකෝන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

 

පසුගිය උතුරු, මධ්‍යම හා වයඹ පලාත් සභා මැතිවරණයේදී ලැබුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි අනුව මෙවර මැතිවරණයේදී අඩුවක් පෙන්නුම් කරන බවත් නමුත් මහජන දේපල අයථා පරිහරණය හා මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

කීර්තී තෙන්නකෝන් මහතා පැවසූවේ ඊට හේතු වී ඇත්තේ මැතිවරණ නීති කඩවීම් ඉහළ යාම පිළිබඳ මහජනතාව අවබෝධයෙන් සිටීම හා එම සිදුවීම් දැනුම්දීම සඳහා විශාල උනන්දුවක් පැවතීම බවයි.

කෙසේ වෙතත් බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණයට තවත් සති දෙකක කාලයක් පවතින හෙයින් මැතිවරණ නීති උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේ ය.    

කැෆේ සංවිධානය වෙත ඊයේ (15) වනවිට මැතිවරණ ආශ්‍රිත සිදුවීම් 791 ක් පිළිබද තොරතුරු වාර්තා වන අතර මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 754ක්  සහ ප්‍රචණ්ඩ ක්‍රියා 37 ක් වාර්තා වී තිබේ. 

බස්නාහිර පළාතෙන් සිදුවීම් 467 ක්ද , දකුණු පළාතෙන් සිදුවීම් 307 ක්ද  මේ අනුව වාර්තා වී ඇති අතර පළාත් දෙකටම පොදු සිදුවීම් සංඛ්‍යාව 17කි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්, ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම කෙරෙහි ද මහජන දේපල අයථා පරිහරණය, අල්ලස් හා මැතිවරණ වැරදි සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම සංවිධානය පෙන්වා දෙයි.

කැෆේ සංවිධානයේ ජාතික මධ්‍යස්ථානය මෙවරත් අංක 100/19 ඒ, වැලිකඩවත්ත පාර, රාජගිරිය ස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතරම දුරකතන අංක 0114341514 සහ 0114341524 ද, ෆැක්ස් අංකය 0112 866224 ද This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ මේල් ලිපිනයෙන් ද කැෆේ සංවිධානය වෙත තොරතුරු ලබා දිය හැකිබව එම සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි. 

 

ප්‍රභාත් මාතරගේ

Rate this item
(0 votes)