May 21, 2024

වත්කම් හෙළි නොකිරීමේ චෝදනාවට සජින් වාස්ට නඩු  

වත්කම් හෙළි නොකිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩු පවරා ඇත.

වත්කම් හා බැරකම් පනතේ 9 (01) යටතේ ඔහුට චෝදනා ඉදිරිපත් කර ඇත. ලබන 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කර තිබේ.

සජින් ද වාස්‌ ගුණවර්ධන මන්ත්‍රීවරයා අමෙරිකානු ඩොලර් කෝටි ගණනක්‌ ගෙවා ගුවන් යානා පහක්‌ මිලට ගෙන ඇතැයි පවසමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පසුගියදා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

ගුවන් යානා පුහුණු පාසලක්‌ පවත්වාගෙන යන බව පවසමින් සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා මෙම ගුවන් යානා ඇමරිකාවේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයෙන් මිලට ගෙන ඇතැයි ද මෙම ගුවන් යානා නතර කිරීම සඳහා 2011 වසරේ සිට රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනය රුපියල් 415000 ක මාසික කුලියකට භාවිත කරන නමුත් වසර හතරක්‌ තිස්‌සේ එම කුලී මුදල ගෙවා නැතැයි ද වසන්ත සමරසිංහ මහතා පැවසී ය.

මෙවන් විශාල වත්කම් ප්‍රමාණයක්‌ උපයා ගැනීමට කටයුතු කළේ කෙසේද යන්න ඉතාමත් සැකසහිත බව ද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පෙර මෙතරම් වත්කම් අත්කර ගැනීමේ හැකියාවක්‌ ඇති පුද්ගලයකු ලෙස සජින් වාස්‌ ගුණවර්ධන මහතා නොසිටි බව ද වසන්ත සමරසිංහ මහතා අල්ලස්‌ කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සියලු වත්කම් ඔහු විසින් උපයාගෙන ඇත්තේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමෙන් පසුව බව ද සිය පැමිණිල්ලේ සඳහන් කරන වසන්ත සමරසිංහ මහතා ඔහු මෙම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ විමර්ශනයක්‌ පවත්වා නීතිය හමුවේ දඬුවම් කරන ලෙස ද ඉල්ලා සිටී.

 

Rate this item
(0 votes)