May 20, 2024

කතරගම වැඩ බලන නිළමේ ‘කස්තුරිආරච්චි’

කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ ලෙස හිටපු බස්නායක නිලමේ වරයකු  වන යසසිරි කස්තුරිආරච්චි මහතා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් පත් කර ඇත.

බස්නායකවරයකු පත් කර ගැනීමේ නිලවරණය අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්දෙන් පසුව පැවැත්වීමට සැළසුම් කර ඇතැයි දැනගන්නට ලැබේ. හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිල කාලය ගිය සතියේ අවසන් විය.

1995 වසරේ සිට 2000 වසර දක්වා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායකවරයා ලෙස යසසිරි කස්තුරිආරච්චි මහතා කටයුතු කළේය. එම කාලසීමාවේදී ඔහු සමාජ සුබසාධන කටයුතු රැසක් සිදුකර තිබේ. රුහුණු කතරගම මහා දේවාලයේ විශ‍්‍රාම ශාලාව ඉදිකෙරුණේද එම කාලසීමාව තුළදීය. එමෙන්ම කතරගම ප‍්‍රදේශයේ දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් උදෑසන කිරි වීදුරුවක් සහ දිවා ආහාර වේල දේවාලයේ අරමුදලින් ලබාදීමද සිදුකර ඇත. එමෙන්ම කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පාසල් දරුවෙකු ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය හෝ උසස් පෙළ විභාගය සමත් වන්නේ නම් එම දරුවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන තුරු දේවාල අරමුදලින් ශිෂ්‍යත්වයක් ලබාදීම යසසිරි කස්තුරිආරච්චි මහතා විසින් සිදුකර ඇත.

රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් පූජා කරන පළතුරුවලින් පළතුරු බීම නිෂ්පාදනය කර නොමිලේම යළි බැතිමතුන්ට ලබාදීමේ ව්‍යාපෘතියක්ද එම කාලසීමාවේදී කි‍්‍රයාත්මක විය.

‍මේ අතර රුහුණු කතරගම මහා දේවාලය දේශපාලන බලපෑම්වලින් නිදහස් කර ගැනීම සදහා විහාර හා දේවාලගම් ආඥා පනතෙහි බලරහිත කර තිබු වගන්ති දෙකක් වහාම බලාත්මක කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විෂය භාර අමාත්‍ය කරු ජයසූරිය මහතාට ඉකුත් දා උපදෙස් දී ඇති බවත් සඳහන්. 

බස්නායක නිලමේවරයෙකු වශයෙන් පත්වීමට නුසුදුසුකම් 03ක් අදාල පනතෙහි දක්වා ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වීම, පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වීම සහ පළාත්  පාලන ආයතනයක සභිකයෙකු වීම ඒ අතර වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 17:25