May 20, 2024

කොළඹ ජාතික රෝහලට වසර 150 යි / අමතක නොවන දිනය 96 යේ 31 වැනි දා

මෙරට විශාලතම රජයේ රෝහල වන කොළඹ ජාතික රෝහල ආරම්භ කර වසර 150 ක් සැපිරී තිබේ.

ඒ අනුව කොළඹ ජාතික රෝහලට වසර 150ක් පිරීමේ ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන්, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ කාර්යමණ්ඩල සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී අද (20) පැවැත් වෙයි.

ක්‍රි.ව. 1864වසරේදී ජාතික රෝහල ආරම්භ කෙරිණ. එය මුලින්ම ආරම්භ කර ඇත්තේ අද එය පිහිටා ඇති කොළඹ පුරහල ආසන්න ස්ථානයේ නොව පිටකොටුව රෝහල් වීදියේ බවත් සනාථ වී ඇත. එම වීදිය රෝහල් වීදිය යනුවෙන් හැඳින්වීමට හේතු වූ පසුබිම් කතාවද එය බවයි වාර්තා වෙන්නේ. ඇඳන් සියයකින් හා එක් බාහිර රෝගී අංශයකින් සමන්විත වූ මෙම ආරම්භක තනි ගොඩනැඟිල්ල ‍පොල් අතු සෙවිලි කළ එකක් වූ බවත් සඳහන්ය.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද මේ රෝහල එදා හැඳින්වූයේ ‘පෙටා හොස්පිට්ල්’ (Pettah Hospital) නමිනි. කොළඹ ජාතික රෝහල් ඉතිහාසයේ තවත් වැදගත්ම සිදුවීමක් වන්නේ 1958වසරේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සුරතින් බණ්ඩාරනායක වාට්ටුව විවෘත කිරීමය. ඉන් වසරකට පමණ පසු බණ්ඩාරනායක මහතා මේ රෝහ‍ලේදීම අවසන් ගමන් ගියේ රොස්මිඩ් වලව්වේ දී වෙඩි වැදී තුවාල සිදුවීම හේතු කොටගෙනය. ගෙවී ගිය වසර 150තුළ කොළඹ ජාතික රෝහලට අමතක නොවන දිනය ලෙස ඉතිහාස ගත වී ඇත්තේ 1996 ජනවාරි 31 වැනිදාය.

එදින විනාඩි කිහිපයක් ඇතුළත තුවාල ලැබූ රෝගීන් 1200 කට ආසන්න සංඛ්‍යාවක් රෝහලට ඇතුළත් කෙරී ඇත. කොළඹ මහ බැංකුවට ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් මේ පුද්ගලයන් තුවාල ලැබූ අතර ඉන් 76 දෙනකු මරණයට පත් වූ බව සඳහන්. වසර එකසිය පනහක් පිරෙන ශ්‍රී ලංකා ජාතික රෝහ‍ලේ කාර්ය මණ්ඩලය වර්තමානය වන විට 7500 කින් සමන්විතය. මෙම කාර්ය මණ්ඩලය මඟින් දිනකට රෝගීන් 5000 කට පමණ ප්‍රතිකාර ලබාදීම සිදුකෙරේ. සැත්කම් 4000 ක් පමණ මාසයකට සිදු කරයි. රෝහ‍ලේ නේවාසික ඇඳන් සංඛ්‍යාව 3399 කි.

 

Rate this item
(0 votes)