May 20, 2024

විදෙස් බැංකුවල තැන්පත් කර ඇති කළු සල්ලි යළි ලබා ගැනීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්‌

විවිධ පුද්ගලයන් ඉකුත් රාජ්‍ය සමයේදී නීති විරෝධී ලෙස අත්කරගෙන මෙරටින් පිටත බැංකුවල තැන්පත් කර ඇති වත්කම් හා ආදායම් පිළිබඳව සොයා බලා ආපසු ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ පිහිටුවීමට අමාත්‍ය මණ්‌ඩලය තීරණය කර ඇත.

විවිධ පුද්ගලයන් නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් විදෙස්‌ බැංකුවල තැන්පත් කර ඇති බවට ලැබුණු තොරතුරු මත මෙම බළකාය පිහිටුවීමට තීරණය කළ බව කැබිනට්‌ ප්‍රකාශක, ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඩොලර් මිලියන 10 කට වඩා මුදලක්‌ විවිධ පුද්ගලයන් අනිසි ලෙස උපයා විදෙස්‌ බැංකුවල තැන්පත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද මේ අතරින් ඉකුත් රජයේ දේශපාලනඥයන් තිදෙනකුට ඩුබායි ජාතික බැංකුවේ ගිණුම් පවතින බවත් ප්‍රකට අමාත්‍යාංශ ලේකම්වරයකුටත් මන්ත්‍රීවරයෙකුටත් තවත් ගිණුම් දෙකක්‌ ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම තවත් දේශපාලනඥයින් ඉකුත් ආණ්‌ඩුව පරාජය වීමෙන් පසුව විදෙස්‌ බැංකුවල තිබූ මුදල් ඉවත් කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 07:30