May 20, 2024

ගෝඨාභයගේ අත්සන පරීක්‍ෂාවට අධිකරණයෙන් අවසර

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ අත් අකුරු පරීක්‍ෂාව සඳහා ඔහුගේ අත්සන සහිත ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ගාල්ල මහෙස්‌ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (19) රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළාය. 

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ සැලකිල්ලට ගනිමින් මහෙස්‌ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂක පී. ඩී. හේවාවඩු මහතා අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සන් අත් අකුරු පිළිබඳ විශේෂඥවරයා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නිසා ඔහුගේ අත්සන් සහිත 2010 - 2013 කාලසීමාවල ලේඛන පහක්‌ හෝ දහයක්‌ ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක්‌ නිකුත් කරන ලෙසය.

මෙහිදී පාවෙන අවි ගබඩාව තිබෙන නැව අයත් සිලෝන් ෂිපින් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසීක්‌ සරූක්‌ මහතා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් මෙම නැව වසර 40ක්‌ පැරණි එකක්‌ බවත් එහි රක්‍ෂණ කාලසීමාව මෙම මස 31 වැනිදායින් අවසන් වන නිසා අවි සහිත කන්ටේනර් විසිදෙක වෙනත් නැවක පැටවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

නැව පැරණි නිසා එහි තෙල් කාන්දුවක්‌ සිදුවුවහොත් වරායටත් පරිසරයටත් හානියක්‌ ඇතිවිය හැකි නිසා සමාගම වෙනත් නැවක්‌ ලබාදීමට ද සූදානම් බව නැව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසීක්‌ සරුක්‌ මහතා පැවසීය.

මීට අමතරව නැවේ කාර්ය මණ්‌ඩලයේ සිටින එකොළොස්‌ දෙනා මේ වන විට දැඩි වෙහෙසට පත්ව සිටින නිසා ඔවුන්ට නිවාඩු ලබාදීමට වෙනත් කාර්ය මණ්‌ඩලයක්‌ පත්කිරීමට අවසර ලබාදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසූවේ ඒ සම්බන්ධ නීතිපති උපදෙස්‌ ලබාගත යුතු බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස්‌ ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස ද එම වැඩිදුර වාර්තා මාර්තු 26 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 09:30