May 20, 2024

කටුනායක ගුවන්තොටුපොළ ධාවන පථයේ කොන්ත්‍රාත්තුව අවලංගු කරයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් යානා ධාවන පථය නැවත ආස්තරණය හා ආශ්‍රිත වැඩ කටයුතු සම්බන්ධව අදාළ සමාගමට ලබා දී තිබුණු කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව හා විනිවිදභාවයකින් තොරව සිදු වී ඇති බව තහවුරු වී ඇති බැවින් දැනට ප්‍රදානය කර ඇති කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම පිණිස නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 

අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථය නැවත ආස්තරණය ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉහළ ඇස්තමේන්තුගත මුදලක් මෙම සමාගම විසින් ඉදිරිපත් කර තිබුණු බව අමාත්‍යවරයා පැවසුවේය. 

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාළ සමාගමට කිසිඳු පළපුරුද්දක් ද නොමැති බව තහවුරු වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)