May 14, 2024

නව ජන්ද ක්‍රමය හදිසියේ එපා - සුළු පක්ෂවලින් විරෝධයක්‌ 

නව ජන්ද ක්‍රමය මගින් කුඩා පක්‍ෂවලට පාර්ලිමේන්තුවට, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනවලට පත් වීමට ඇති අවස්‌ථාව අහිමි වීමේ සැකයක්‌ පවතින නිසා හදිසියේ ජන්ද ක්‍රමය වෙනස්‌ කිරීමට විරුද්ධ වීමට සුළු පක්‍ෂ රැසක්‌ එක්‌ව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනතා විමුක්‌ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, නව සම සමාජ පක්‍ෂය ඇතුළු පක්‍ෂ කිහිපයක නායකයින් කොළඹදී හමු වී සාකච්ඡා කර මෙම තීරණයට එළඹ තිබේ.

නව ජන්ද ක්‍රමයකින් සුළු පක්‍ෂවලට තේරී පත්වීමට ඇති අවස්‌ථාව අහිමි වී යා හැකි බැවින් හදිසියේ ජන්ද ක්‍රමය වෙනස්‌ කිරීමට ඉඩ නොදිය යුතු බවටත් එය මහජන අදහස්‌ හා සංවාදවලට ඉඩ හැර පසුව ලැබෙන යෝජනාද එක්‌කරගෙන වෙනස්‌වීමක්‌ සිදු කළ යුතු බවටත් එහිදී යෝජනා වී තිබේ.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය, පවතින මැතිවරණ ක්‍රමය යටතේම පවත්වා ඉන් පසුව මහ මැතිවරණ නව ක්‍රමයක්‌ යටතේ පැවැත්වීමට ක්‍රියා කරන්නැයි ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටීමටද මෙහිදී තීරණය කර ඇත.

සුළු පක්‍ෂ එකමුතුවට ඉදිරියේදී ලංකා කම්කරු කොංග්‍රසය, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්‍ෂ විපක්‍ෂ සුළු පක්‍ෂ සියල්ල එක්‌ කර ගැනීමටද එහිදී තීරණය කර තිබේ.

ඉදිරියේදී මේ පිළිබඳවත් රට පුරා ජනහමු පැවැත්වීමටද තීරණය වී ඇත.

Rate this item
(0 votes)