May 09, 2024

ජනපති බලතල මෛත්‍රීගේ ධූර කාලයට පමණක් - ජවිපෙ

අප්‍රේල් මස 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයතට යා යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ (16 දා) හදිසියේ රැස්‌වී තීරණය කර ඇත.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්‌වීම බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේදී පැවැත් විය.

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතුය යන්න ජනතා විමුක්‌ති පෙරමුණේ ස්‌ථාවරය වුවත් පවත්නා ඇතැම් ප්‍රායෝගික ගැටලු නිසා එහි බලතල හැකි උපරිම ප්‍රමාණයෙන් සීමා කිරීම හා සමහර බලතල ඉවත් කළ යුතුය යන්න මෙහිදී ජවිපෙ සාකච්ඡාවට බඳුන්වී ඇත.

ජනාධිපතිවරයා කිසියම් බලතල ප්‍රමාණයක්‌ තබා ගත යුතු යෑයි යන යෝජනාවට තම පක්‍ෂය එකඟ වන්නේ එය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයට පමණක්‌ සීමා විය යුතුය යන කොන්දේසිය යටතේ පමණක්‌ බවද දැනට කෙටුම්පත් කර ඇති ව්‍යවස්‌ථා සංශෝධන තුළ සාධනීය ලක්‌ෂණ රැසක්‌ තිබෙන බවද ජවිපෙ පිළිගෙන ඇත.

ඒ අනුව ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඉහත ස්‌ථාවරයේ සිට කටයුතු කිරීමට සහ අවශ්‍ය වන්නේනම් සංශෝධන ඉදිරිපත් කිරීමටද පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එමෙන්ම නව මැතිවරණ ක්‍රමයක්‌ සකස්‌ කරද්දී එය වත්මන් මැතිවරණ ක්‍රමයට වඩා සාධාරණ, නිවැරදි හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී එකක්‌ විය යුතු බව ද තීරණය කර ඇති ජවිපෙ මධ්‍යම කාරක සභාව මෙරට සියලුම ජන කණ්‌ඩායම් සහ ඒ ඒ පක්‍ෂ වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ඡන්ද දායකයන්ගේ කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන මැතිවරණ ක්‍රමයක්‌ විය යුතු බවද අවධාරණය කර ඇත.

Rate this item
(0 votes)