May 12, 2024

‘අලි පොතේ’ හොරා පිළිබඳ කරුණු හෙළි වෙයි

වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ පවතින හිලෑ අලි ඇතුන් පිළිබඳ විස්තර ඇතුළත් අලි පොත රැගෙන ගොස් ඊට ව්‍යාජ ලේඛන ඇතුළත් කර නැවත එම පොත වනජීවි දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් බව අද (16) අධිකරණයේදී අනාවරණ විය.

ඒ, ව්‍යාජ බලපත‍්‍ර ළඟ තබාගෙන වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදිය.

රහස් පොලීසිය එහිදී අධිකරණයට තවදුරටත් සදහන් කර සිටියේ අලි පොත සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ තවමත් අවසන් කර නොමැති බවය.

මීට අමතරව සැකකරු වන අලි 40 කට ආසන්න සංඛ්‍යාවක් නීතිවිරෝධී ලෙස විකුණා ඇති බවත් සඳහන් විය.

කෙසේවෙතත් නඩුවට අදාළ සාක්ෂිවලට බලපෑම් එල්ල විය හැකි බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව, අදාළ කරුණු සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සැකකාර නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා මේ මස 20 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

Rate this item
(0 votes)