May 04, 2024

රන් පදක්කම් දිනූ සුගත් ගේ ක්‍රීඩාංගණය පාසැල් දරුවන්ට මරු කපොල්ලක් (VIDEO)

ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂි කෙටි දුර ධාවකයෙක් වන මීටර් 200සහ මීටර් 400 ඉසව්වල ජාතික වාර්තාලාභියා වන ආසියානු රන් පදක්කම්ලාභි සුගත් තිලකරත්න සිය ක්‍රීඩා දිවියේ පුහුණුවීම් ලැබූ ක්‍රීඩාංගණය, මේ වන විට අනාගත ක්‍රිඩා දිවිය එළි කරගන්නට සිටින දරුවන්ට මරු කපොල්ලක් වී තිබේ.

ඒ එම ක්‍රීඩාංගණය වෙත පිවිසෙන අඹගමුව මහ විද්‍යාලයේ සිට සුගත් තිලකරත්න ක්‍රීඩාංගණය දක්වා ඉදිකර තිබූ කොන්ක්‍රීට් පාලම වර්ෂාවට හසු වී කැඩී යෑම හේතුවෙනි.

ක්‍රීඩාංගණය වෙත පිවිසීමට මේ වන විට තාවකාලික පාලමක් ඉදිකර තිබුණද එය කිසිදු ප්‍රමිතියකින් තොර ගැමියන් විසින් සකස් කරන ලද පාලමකි. මේ වන විට ඊටද දෙවසරකට වැඩි කාලයක් ගතව තිබීම මෙම අවධානම තවත් අවධානමකට ලක් කරන්නකි.

පැවැති චන්ද්‍රිකා බන්ඩාරණායක පාලනය සමයේ එවකට ක්‍රීඩා ඇමති වූ එස් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි කොන්ක්‍රීට් පාලමක් ඉදිවන්නේ සුගත් තිලකරත්නට සිය පුහුණුවීම් සඳහා ක්‍රිඩාංගණය වෙත පිවිසීමට ඇතිව තිබූ අපහසුතා (ඇළෙන් එතෙරවීම වෙනුවට) මගහැර දෙන්නක් ලෙසය.

නමුත් මේ වන විට එම පාලම විනාශ වී කාලයක් ගත වී ඇති අතර නව ඉදිකිරීම වෙනුවෙන් මෙම ස්ථානයය පැමිණ පිඹුරුපත් සැකසූවන් අතර මුලින්ම සිටිනුයේ පැවැති රජයේ මස්කෙලිය ආසන සංවිධායක ඩබ්ලිව්.ජී රණසිංහ ය. ඉන් අනතුරුව විවිධ අවස්ථාවලදී සිදු කරන ලද සිහිගැන්වීම් හමුවේ එවකට බලයේ සිටි ඇමති බැසිල් රාජපක්ෂ, සී.බී රත්නායක, මධ්‍යම පළාත් මහඇමති සරත් ඒකනායක වැනි දේශපාලනඥයන් වෙයි.

ලංකාවෙන්ම තෝරාගත් පාසැල් 1000 ස අතරින් හැටන් කලාපයේ සිංහල පාසැල් 05 අතරින් එකක් වන මෙම පාසැල තුළ ළමුන් 1200 ක් පමණ සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි. පාසැලේ විවේක කාලයේදී මෙන්ම ක්‍රීඩා පුහුණුවීම්වලදීත් පාසැල් අවසන්වූ පසු නිවෙස් බලා යන සිසුන් බහුතරයක් භාවිතා කරන්නේ මෙම අවධානම් සහිත තාවකාලික පාලමය.

ගමේ ජනතාවද සිය අවශ්‍යතා සඳහා නිතර භාවිතා කරන මෙම පාලම හරහා ඇති ඇළ මාර්ගය වර්ෂා කාලයේදී අඩි 40 ක පමණ ගැඹුරකින් යුක්ත වන බවයි ගැමියන් පවසන්නේ. ඒ හේතුවෙන් නව රජයේ හෝ අවධානය යොමු කරමින් මෙම පාලම නිසි පරිදි ඉදිකර දෙන මෙන් එම ජනතාව ඉල්ලයි.

වීඩියෝව පහතින් නරඹන්න...

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 11:30