May 03, 2024

චන්ද්‍රිකාගෙන් ආරක්ෂක ලේකම්ට දුරකතනයෙන් වාග් ප්‍රහාරයක්

ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් ඒ පිළිබඳව තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කරන බවත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා ඇත.

පසුගිය සතියේ පැවැති ජාතික විධායක සභාවේදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ මතභේදයට ලක්ව ඇති ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපතිවරයාට විදේශගත වීම සඳහා උපකාරී වන ලිපියක් නිකුත් කිරීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පවතින ආරක්ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියට නිවාඩු ලබාදීමටත් ආරක්ෂක ලේකම්වරයා කටයුතු කිරීම හේතුවෙනි.

ආරක්ෂක ලේකම්වරයා සිදුකළ මෙම කාර්යය නිවැරදි නොවන බවත්, එම ලිපියේ සභාපතිවරයාගේ විදෙස්ගත වීම අත්‍යවශ්‍යයි යනුවෙන්ද සඳහන් කර තිබෙන බවත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එහිදී පෙන්වා දී තිබේ. අතිරේක ලේකම්වරියට මාස හයකට නිවාඩු ලබා දී තිබෙන අතර, ඇය මේ වනවිට විදෙස්ගතව ඇති බවද  වාර්තා වෙන බවයි ඉරිදා පුවත් පතක් මේ පිළිබඳව උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ.

මේ හේතුවෙන් පසුගිය සතියේ පැවැති ජාතික විධායක සභා සැසිවාරය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර, ඒ අවස්ථාවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ආරක්ෂක ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී (කෝපයෙන්) මේ පිළිබඳව කරුණු විමසා ඇති බවත් සඳහන් වෙයි. 

ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට විදෙස්ගත වීම සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට උපකාරී වන ලිපියක් නිකුත් කිරීමට කටයුතු කළේ කාගේ කීමක් නිසා දැයි හිටපු ජනපතිනිය ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර තිබේ.  එසේම ආරක්ෂක අමාත්‍යාංශයට නිවාඩු දිනයක් වූ ඉරිදා දිනයකදී සිය කාර්යාලයට ගොස් ලිපියක් සකස් කිරීම ආරක්ෂක ලේකම්වරයාගේ කාර්යභාරයක් නොවන බවද ඇය ආරක්ෂක ලේකම්වරයාට පවසා ඇති බවයි එම පුවත් පත වැඩි දුරටත් පළ කර තිබුණේ.

ඇවන්ට් ගාඩ් සභාපතිවරයාගේ නීතිඥයන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පිටු තුනකින් සමන්විත ලිපියක්ද ඇය මෙහිදී ඉදිරිපත් කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 00:04